Sunday, May 10, 2015

ඇය පියවතී ..... නම් වුවාය.


ඕ සුසුම් ලන්නීය. හිස් බැල්මෙන් වරෙක තැවෙන්නීය..... ජිවත් වන්නන් වාලේ , ඇය ජිවත් වනවා යයි..... බැලු බැල්මට වටහා ගත හැක.

දන්න කාලේ ඉදන් ඔයා මනුස්සයා ඔහොම තමයි......... කවුදෝ කියනවා දවසක් මට ඇහුනා ....... 

හිර ගෙදර බස් එකට ඇය නැංගාය.......  තවමත් බලා හිදින්නිය........ කවුරු එනකන්ද....? කවුරු ආවත් නාවත් , ඇයට කම් නැත. ඇය ඇයගේ ලෝකයේ. 

වරෙක ඇය උණවටුනට රැගෙන ආවාය...... වැඩි දුර පරීක්ෂණ සදහා අංගොඩ නතර වෙන්නටද  සිදු වුවාය. අන්තිමට එහිම නේවාසික විය. 
ඇයට උරුම හිර ගෙදර නොව, අංගොඩ රෝහලයි. වරද ඇගේ නොව..... අප නොදන්නා බලවෙගයකින් ඇයව මෙහෙය වීමයි.
  
මාස හයක පමණ ප්‍රතිකාර වලින් පසු ඇය නැවතත් හිර ගෙදරටම ආවාය. 

මේ ඇගේ කතාවයි...... ඇය පියවතී ..... නම් වුවාය. 

පියවතී සිව් දරු  මවකි. වැඩි කතා බහක් නැති පාඩුවේ ජිවත් වන්නියකි. ඇගෙන් කාටවත් කරදරයක් නැත. එහෙත් වටපිටාවේ ඉන්න නෑදෑයින්ට නම් ඇගේ පවුලම කරදරයකි. හේතුව, ඇය ජිවත් වූ ඉඩම් කොටස අයිති කර ගන්නට ඔවුන් මාන බැලු නිසාය. 

ඒ පැත්තේ අය නම් කිව්වේ, පියවතිට මොනවදෝ දීලා කියල. ටිකක් ඔළුව හොද නැති ගතියක්ද කොහෙද තියනවලු. 

මනුස්සයා හැමදාම මුහුදු ගියා, මාළු  විකුණලා කියක් හරි ගෙනවිත් තමයි මේ පවුල රැක්කේ. ළමයින්ගේ කරදඩු උස් උනේ නිකන්මයි. ඉස්කෝලේ ගියත්, එච්චර දස්සකමක් තිබුනෙ නෑ. අන්තිමට ලොකු කොල්ලෝ දෙන්නත් මුහුදු රස්සාවටම ගියා. කෙල්ලෝ දෙන්න ගෙදර හිටිය. 

ගෙදර වැඩපල කරන්, පියවතී කාලය ගෙව්වා. ඇයට වෙන ලෝකයක් නැත. යාළු, මිතුරු ඇසුර  ..... ඒ දේවල් ඇය කවදාවත් අත් විද නැත.සමීප සබදකම්...... හැගීම්..... බැදීම්...... ඒ කිසිත් ඈ නොදත්තාය. 

කල වයස ආවම කසාද බැද , ළමයි හැදුවද....... ඉබේ හැදුනාද කියලවත්...... ඇය දන්නවද දන්නේ නැත. 
ඇගේ පටු ලෝකයේ ......  ජීවිතය ඇතුලාන්තයටම හැරවූ නෙත් ඇතිව ඇය සිටින්නීය.

පියවි ලෝකයට ඔබ්බෙන් ඇගේ ලෝකය තනන්නට ඇති බව , කල් ක්‍රියාවෙන් නම් විද්‍යමාන වේ. 

පියවතී .... දිනක් නිදා හුන් තැනින් නැගිට්ටාය. ඇගේ ලග පැදුරේ ඇලවී උන්...... ඇගේ නැන්දම්මා හා නෑනා දෙස වරක් පමණක් බලා, දනී පනී ගා නැගිට ..... විත් , මන්නා පිහිය අතට ගත්තාය. 

නිදා සිටි අම්මයි, දුවයි...... දෙතුන් පාරට පෙති ගැසුවේ, මාළු කපන්නා සේය. හේතු කිසිවක් නොදත්..... නිදා සිටියවුන් ..... නැවතත් අවසන් නින්දටම පිලිපන්නාහ. 

නැවතත් ඇය හිස් බැළුම් හෙලන්නිය. වට පිටාවේ මිනිස්සු පිරි ඇත. ..... කසු කුසු ගාමින් සිදු වූ විපත්තිය..... ගැන ඔවුන් කතා කරති.

පොලිස් ජීප් රියෙන්  පැමිණි රාළහාමි කෙනෙක් , පියවතිට කතා කළේය. පියවතිගෙන් කිසිවක් නොවිසාම, මන්න පිහියත් සමග ජීප් රියට නංවාගෙන ඔවුහු  පිටත්ව ගියහ.

සිද්දිය පිළිබද පොලිසිය දිගින් දිගටම ඇගෙන් ප්‍රශ්න කරන ලදී. ඇය මොනවා කියන්නද...... කියන්න කිසිත් නොදත්තාය. 

කාන්තාවන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට ඇය හිර ගෙදර ගියාය. 
ඇයට ගෙදරත්..... හිර ගෙදරත් අතර වෙනසක් දැනෙන්නේ නැත. ඇය..... තවමත්..... බලා හිදින්නිය. 

ඒ කවුරුවත් ඇයව බලන්න එනකන් නම් නොවේ...... කිසිවකු ..... ඇය බලන්න ආවේද නැත. ගෙදර අයට ඇයව පෙනුනේ මිනීමරු ගෑණියක ලෙසෙනි. 
ඔහොම ... සති දෙකින් දෙකට හිර ගෙදරත්.... උසාවියත් අතර ඇය සංචාරය කලාය. ඇය වෙනුවෙන් කිසිවෙකුත් නැත. 

පියවතී හා සිද්දිය සම්බන්ධ ..... වටපිටාව දැන සිටි එක් පොලිස් නිලධාරියකු .... උසාවියෙන් ඉල්ලීමක් කළේය. 

ඒ ..... ඇය පිළිබද මානසික වෛද්‍ය වාර්තාවක් කැදවන  ලෙසයි. 

උසාවියෙන් අවසර ලැබිණ. මුලින් උණවටුන වෙතත්, වැඩි දුර ප්‍රතිකාර සදහා අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනය වෙතත් ඇයව බන්ධනාගාරය මගින් යොමු කරන ලදී. 

සැබවින්ම, ඇය මානසික  රෝගයකින් පෙළුණු තැනැත්තියක් බව තහවුරු වන්නට විය. ඇයට වැලදී ඇත්තේ, පරම්පරාවෙන් එන නිලින ලක්ෂණ ඇති මානසික රෝගයකි. 

එහෙත්.... ඇයට රෝගයක් ඇති බව ගෙදර කිසි කෙනෙකු නොදත්හ. එවැනි යමක් තේරුම් ගත හැකි වටපිටාවක් ඇයගේ සමාජයේ සිටිය උන්ට නොතිබිණි. 

පසුව ..... පොලිසිය මගින්, ගෙදර අයව ගෙන්නා ඇගේ , ඉතිහාසය ..... පිළිබද අධ්‍යනය  කර සම්පුර්ණ වාර්තාවක් වෛද්‍යවරයා මගින් උසාවිය වෙත ලබා දෙන ලදී .  

පියවතිට ..... ප්‍රතිකාර වලින් පසුව පියවි සිහිය ලැබුණි. තමන් අතින් සිදු වූ සිද්දිය ගැන දැනෙන්න පටන් ගෙන තිබුණි. සිය නැන්දම්මා හා නෑනා මැරුවේ තමන් බව මතක් වන්නට විය. එහෙත්...... ඒ වන විට සියල්ල සිදු වී හමාරය. 
සියල්ල තේරුම් බේරුම් ගියාට පසුව දරුවෝ ඇයව බලන්නට හිර ගෙදරට පැමිණියහ.  

දිනෙක, ඇය පිච්චෙනවා යයි කෑ ගසමින් , හිර ගෙදර තුල  කළහ කරන්නට පටන් ගත්තාය. පියවි සිහිය පැමිණියද ...... ඇය නැවතත් රෝගී වන්නට විය. 

පියවි සිහිය නොලැබුණා නම් හොද යයි, ඇයට දැන් නම් සිතෙන්නට ඇත. ඇය සත්‍යට බිය විය. 

 නඩුවෙන් ඇයට සහනයක් ලැබුණි. සිතා මතා නොකළ මිනි මැරුමක් බව තහවුරු වන්නට විය. ඇයට ඇප ලැබුණි. දරුවෝ  ඇයව ගෙදර ගෙන යන්නට බිය වුහ. ලෝකයා මොනවා නොකියාද යන මිත්‍යාවට නතු වෙමින්, ඇයට  සිය මහ ගෙදර වෙත යන්නට සිදු විය......

මින් එක දෙයක් අප තේරුම් ගත යුතුයි .... මොකද්ද ඒ...... 

අප අතර සිටින අමුතු හැසිරීම් ඇති අයවලුන් පිළිබද සැළකිලිමත් වීම, අනතුරු අඩු කර ගැනීමට හේතු වන බවයි. 


එක් සත්‍ය සිදුවීමක් ඇසුරිනි


19 comments:

  1. එහෙම සිද්දිත් වෙලා තියෙනවා නේ. මට නම් හිතුනෙ පියවතී මහ කරුමක්කාරියක් විදිහට. මේ සිද්දිය නිහිංසා අසුව කතාවක්ද නැත්නම් දැකපු දෙයක්ද?

    //අප අතර සිටින අමුතු හැසිරීම් ඇති අයවලුන් පිළිබද සැළකිලිමත් වීම, අනතුරු අඩු කර ගැනීමට හේතු වන බවයි//
    මේ අන්තිමට කියල තියෙන එක නම් සහතික ඇත්ත. ඒත් ඒක විහිළුවට දැම්මවත්ද කියලත් හිතෙනව :)

    ReplyDelete
  2. මනා...... මේ මං දැකපු සිද්දියක්....... හා මැදිහත් වුනු සිද්දියක්...... මත පදනම් වූ රචනයක්.
    විහිළුවට නෙමේ මනා..... මං ඔය උපුට ගැනීම දැම්මේ. මේ වගේ අමුතු හැසිරීම් තියන අය පිටුපස්සේ ලොකු කතා තියනවා. ඒවා අපි දැන ගන්නේ කාලයක් ගියාට පස්සේ. ඒ අය අතින් වැරදි සිද්ද වෙන්නේ දන්නෙම නැතුව.....

    ReplyDelete
  3. අපි කොයි කා තුලත් අඩු වැඩි වශයෙන් යම් මානසික වියවුල් තිබෙනවා කියන එක මම පිළිගන්නවා. මේ ගැන හොඳ විග්‍රහයක් කරන්න සුදුසු කෙනා Transylvania බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය රුවන් එම්. ජයතුංග.

    ReplyDelete
    Replies
    1. මානසික වියවුල් .... ගැන දැනුවත් කලාට ස්තුතියි..... තුමනි.....

      Delete
  4. ලගම ඉන්න හිතවත්තු පවා අපිට නොකියන ප්‍රශ්න එක්ක, අපි උන්ව ආශ්‍රය කරනව ඇති කියලත් හිතුනා..

    ඇත්තට හිතන්න දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඔව්..... සෑම් .... නොකියන කතා වල ප්‍රථිපල හරි භයානකයි......

      Delete
  5. අපෙත් එහෙම නිලීන ලක්ෂණ තියෙනවද දන්නේ නෑ. කාගෙන් හරි අහල බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොයල බලන්නකෝ ..... බබා.....

      එහෙම ලක්ෂණ පහල වෙනවද කියල

      Delete
  6. ඒක අතකින් නිහිංසා අපි හැමෝම පිස්සෝ තමා.... අපි හැමෝටමත් මොකක් හරි පිස්සුවක් තියෙනවා... ඒත් අපිට ඒ පිස්සු පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා.... ඒකයි වෙනස....

    ReplyDelete
    Replies
    1. පිස්සු පාලනය කිරීම ප්‍රශ්නයක් නෙමේ කුරුටු...... බැරි උනොත් දන්නෙම නැතිව එලියට පනිනවා. ඔන්න ඔය වගේ....

      Delete
  7. චරිත මතුපිටින් දකින ආකාරයට හාත්පසින්ම වෙනස්
    මේ ඒකට උදාහරණයක්
    මම දකින විදියට
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔව්..... වර්ණ...... අපි ඇතුලේ තියෙන්නේ හාත්පසින්ම වෙනස් චරිත.

      Delete
  8. මානසික රෝහල්වලත් බොහොමයක් දෙනා ඉන්නවා සනීප උන, එත් ගෙදරින් එක්ක යන්න ආවේ නැති..
    එහෙම තමන්ගේ ගෙදරින් ප්‍රතික්ෂේප උන මනුස්සයට සනීප උනත් ආපහු මානසික රෝගයක් හැදෙන්න පුළුවන් ආපහු.

    ReplyDelete
    Replies
    1. ඔව්.... යසිත්..... මානසික රෝහලින් යන්න තැනක් නැතිව ඉන්න අය අනන්තයි. කවුරුත් මේ අයව බාර ගන්නේ නෑ. සමහරු, රිදියගම, ගංගොඩවිල නිවර්තන නිවාස වලට එවනවා.
      එතනින් ආයෙත්..... පිස්සු හදා ගන්නවා. මොකාද ඒ පරිසරය උචිත නෑ. මානසික රෝගීන්ට.

      Delete
  9. මානසික රෝගීන් සමග ගනු දෙනු කරන්න අපේ සමාජය තාම සූදානම් නෑ. ඒ පසුගාමී බව නිසා බොහෝ මානසික රෝගීන් සදාකාලිකවම පිස්සන් ලෙස ජීවත් වෙනවා. පෝයට පිස්සුව වැඩිවන බවත් පිස්සන්ට හොඳට කන්නට හැකි බවත් සහ නෑවීමෙන් පසු දිනක් දෙකක් යනතෙක් පිස්සන් කලබලකාරී නොවන බවත් හැරුණම වෙන දෙයක් අපේ මිනිස්සු දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්..... කිචි...... මිනිස්සු දන්නේ ඔච්චරයි..... මේවට ස්ථිර පිළියම්, සිය පවුල තුලින් වත් සොයන්නේ නෑ. ඉතින්...... සමාජයට එකතු වෙන්නේ තවත් සමාජ ප්‍රශ්නයක් විතරයි.

      Delete
  10. හැමදේකටම පස්සෙ මට හිතුනෙ
    අපි බලන විදිය අපි කතා කරන විදිය
    කොටින්ම කියනව නං අපි අනික් අය දිහ බලන විදිය අන්තිම අසාධාරණයි
    ඒක වෙනස් වෙන්නෙ අපිට වුවමනාවක් වුනොත් විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව්..... මහේෂ්...... වාසියට වැඩ කරන්න මිනිස්සු පුරුදු වෙලා. අනිත් අය ගැන හැගීමක් නෑ.

      Delete
  11. අනිත් අය හැසිරෙන විධිහ ගැන අවධානයෙන් පසුවීම කොහොමත් හොඳයි.

    ReplyDelete