Thursday, May 25, 2017

පර්යේෂණයක සාහිත්‍ය විමර්ශනය (Literature Review )


                            සාහිත්‍ය විමර්ශනය පර්යේෂණ යෝජනාවලියක වැදගත් අංගයකි. එනම් අධ්‍යනයට සම්බන්ධ තේමාවට අදාලව පවත්නා ශාස්ත්‍රීය ඥානය විචාරාත්මකව ඇගයීමයි. අධ්‍යනයට උපකාරී වන ශාස්ත්‍රීය දැනුමට  අදාල න්‍යාය, සංකල්ප විග්‍රහ , තොරතුරු , නිගමන යනාදිය සමග තර්කානුකුල සාකච්චාවකට එළඹීම සාහිත්‍ය විමර්ශනය වේ. ( Critical  engagement ) පර්යේෂණ යෝජනාවලියට සකසන ලද සාහිත්‍ය විමර්ශනය නිබන්ධනය සදහාද භාවිතා කල හැක. එමගින් කලින් සිදුකල අධ්‍යන වල අඩුපාඩු සහ නව අදහස් සොයාගත හැක.

සාහිත්‍ය විමර්ශනයක ප්‍රධාන අංග ලක්ෂණ
·        අධ්‍යන තේමාවට සම්බන්ධව පවත්නා සාහිතයේ ඇති හිස්තැන් හදුනා ගැනීම.
·        සිදු කිරිමට නියමිත පර්යේෂණයෙන් පවත්නා ඥානයට අළුතින් යමක් එකතුවේද ? එය කෙසේද ? යන්න සොයා ගැනීම.
·        අධ්‍යන තේමාවට අදාල ඉතා සමකාලින අධ්‍යන න්‍යායන්  මගින් විග්‍රහ හදුනාගත හැක.  ( යල් පැන ගිය ඒවා නොව සමකාලින කෘතීන් අධ්‍යනයට ගන්න . )
·        පවත්නා ශාස්ත්‍රීය පර්යේෂණ සාහිත්‍ය හදුනා ගැනීම මගින් , පර්යේෂණ ගැටළුව , පර්යේෂණ ප්‍රශ්න , විධික්‍රම , න්‍යායකරණය නිර්මාණය කර ගැනීමට සාහිත්‍යයේ ආලෝකය ලැබීම.

සාහිත්‍ය විමර්ශනය සිදු කරන පියවර
·        අදාල සාහිත්‍ය පිළිබද ග්‍රන්ථ නාමාවලියක් සකස් කිරීම.
               I.    මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කර ඇති ග්‍රන්ථ
               II.  මුද්‍රණය කර නැති පශ්චාත් උපාධි  නිබන්ධන

පස් ආකාරයක  සාහිත්‍යක් මේ සදහා භාවිතා කල හැක.  
a.     පිටරට වල පලවී ඇති , තුලනාත්මක සාහිත්‍ය
( උදාහරණ ලෙස දේශපාලන පක්ෂ ගැන පර්යේෂණයක් කරන්නෙකුට මෙම ක්‍රමය භාවිතා කල හැක. )
b.     මේ රටේ පළකර ඇති සාහිත්‍ය
c.      න්‍යායික සාහිත්‍ය
(විශ්වීය මට්ටමේ සාහිත්‍ය ලංකාවේ න්‍යායික ශාස්ත්‍රීය සාහිත්‍යයේ න්‍යායික සාකච්චා දක්නට ඇත්තේ අඩුවෙනි.
d.     අනුභාවික සාහිත්‍ය
e.     මුද්‍රිත මෙන්ම මුද්‍රණය නොවූ සාහිත්‍ය ( අප්‍රකාශිත සාහිත්‍ය )
( මුද්‍රණය නොවූ සාහිත්‍ය යනු ප්‍රතිපත්ති අධ්‍යනයන් සදහා රජයේ ආයතන , විදේශ ආධාර දෙන ආයතන , රාජ්‍ය නොවන සංවිධාන වල සමීක්ෂණ වාර්තා )
·        ක්‍රම තුනකට අනුව දෙවැනි පියවර සිදු කල හැක.
  I.   විමර්ශනය කරන එක් එක් කෘතියේ ඇති ප්‍රධාන තර්ක විග්‍රහ, නිගමන සාරාංශ කිරීමයි.
   II.  එම විග්‍රහයේ ඇති තර්ක වල අඩුපාඩු , ශක්තින් සාකච්චා කිරීමයි.
   III විමර්ශනය කරන සාහිත්‍යයෙන්  පර්යේෂණයට ලැබෙන ආලෝකය  ගැන කෙටියෙන් විස්තර කිරීම
·        තුන්වෙනි පියවරේදී තමා විමර්ශනය කරන සාහිත්‍ය සමස්තයක් ලෙස ගෙන එක් එක් කෘතීන් විමර්ශනය කිරීමේදී ලබාගත් විචාරාත්මක අදහස් සංයෝග කර යලි ඉදිරිපත් කල  හැක. පවත්නා දැනුමෙහි හිස්තැන් හදුනාගෙන ඒවාට අවදානය  යොමු කිරීමට මෙමගින් ඉඩ සැලසේ.  
ගුණාත්මක හා ඉහල මට්ටමේ සාහිත්‍යක් විමර්ශනය කිරීමේදී කල යුත්තේ තේමාත්මක ව්‍යුහයක් තුල සංවිධානය කොට ඉදිරිපත් කිරීමයි. තේමාත්මක වර්ගීකරණයෙන් ඉදිරිපත් කිරීමෙන් පර්යේෂකයාගේ විචාරාත්මක හැකියාවද ප්‍රකාශනය වේ.
මුලින් විමර්ශනය  කරන ලද සාහිත්‍ය වර්ගීකරණය කරන තේමා සහ ශිර්ෂ වේලාසන තීරණය කළහැකි ඒවා නොවේ. ඒවා විමර්ශනයට භාජනය කල සමස්ත සාහිත්‍ය තුලින් මතුවිය යුතුය. එලෙස නිර්මාණාත්මකව හා තේමාත්මකව ව්‍යුහගත  කරන සාහිත්‍ය විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පරිනත ශාස්ත්‍රීය ශික්ෂණයක් පර්යේෂකයා අත්පත් කර ගෙන ඇති බවයි. සාහිත්‍ය විමර්ශණය යනු යෝජනාවලියේ ඇති හරයාත්මක කොටස වේ. එය පිටු 6,8 දක්වා දික්විය හැක.


( ජයදේව උයන්ගොඩ මහතාගේ සමාජීය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම . න්‍යායික හා ප්‍රයෝගික මග පෙන්වීමක් , යන ග්‍රන්ථය ආශ්‍රයෙනි. )

Thursday, May 11, 2017

මිනිසා පිලිබද දාර්ශනික මතවාද




මිනිසා යනු සෑම විටම වෙනස් වූ චර්යාවන් සහිත කොට්ඨාශයක් බව එදා සිටි බුද්ධිමතුන් දැන සිටියහ. යමක් තේරුම් ගත හැකි අය, මේ පිරිස අතුරින්  දාර්ශනිකයන් ලෙස හැදින්වුහ . ඔවුන් තාර්කික වුහ. සාපේක්ෂ විග්‍රහයන් එදා නොතිබුනත්, යමක් පිළිබද නිරීක්ෂණාත්මක වුහ . එහි ප්‍රථිපලයක් ලෙස මෙලෙස සිය අදහස ඉදිරිපත් කරන ලදී.  අදටත් මෙම මතවාද වලංගුද නැද්ද යන්න ඔබට පැවසිය හැක. නැවතත් එම දාර්ශනික මතවාද ඉදිරිපත් කලේ , ඔබගේ අදහස දැන ගැනීමටය.

 “ සොක්‍රටීස්ගේ ආචාරවාදී දර්ශනයේ මුලික ප්‍රශ්නය වන්නේ මිනිසා වැරදි කරන්නේ ඇයිද යන්නයි  , සොක්‍රටීස් මේ සදහා දී ඇති පිළිතුර වන්නේ වරදට හේතුව අඥානකම යන්නයි . 


 “  එනම්  දැන දැන මිනිසා වැරදි නොකරන බව “ මෙයින් ප්‍රකාශ වේ. 


සොක්‍රටීස්ගේ මෙම මතය ද මේ  වන විට බිද වැටි ඇති බව පෙනී යන්නේ, අඥානයින් වගේම ඥානවන්තයින්ද වැරදි කීරිම සදහා පෙළඹව ඇති බවයි. අද සමාජය තුල සුදු කරපටි අපරාධ , සංවිධානාත්මක අපරාධ බිහිව ඇත්තේ නුවනැත්තන්ගේ අනුදැනුමෙනි. එදා සමාජයේ මිනිසුන් දැන දැන වැරදි නොකර සිටින්න ඇති, එහෙත් අද සමාජ සංකීර්ණ වෙත්ම මිනිසා සමාජ පැවැත්ම සදහා පරිණාමීය වී ඇති බැවින් අපාගාමී චර්යාවන් සදහා යොමුව ඇත.


නවින සමාජය  තුල එනම් මිනිසා පිළිබදව සිදු කරන  පර්යේෂණ වලදී     පෙන්නුම් කෙරෙන කරුණක් නම් මිනිසා    දැන දැන  වැරැදී  සිදු කිරිමයි.



ඒ වගේම සොක්‍රටීස්ගේ  අපාගාමී චර්යාව පිළිබද මතයද අදට නොගැලපේ. මිනිසා ඉච්චානුගතව නරක ක්‍රියාවන්හි නොයෙදෙන අතර යහපත වෙනුවට අයහපත තෝරා ගැනීම මිනිස් ස්වභාවය නොවන බව , අද වන විට පිළිගත නොහැකි කරුණක්ව ඇත. අඥානන් පමණක් නොව ඥානවන්තයින්ද අපාගාමී චර්යාවන්හි යෙදේ. ඒ අනුව අද වනවිට උදාහරණයක් ලෙස ගතහොත් ,  මත්පැන් වැඩි වශයෙන් සංසරණය වෙන්නේ මධ්‍යම හා  ඉහල පැලැන්තිය  වගේම උගතුන් අතර වේ. වැඩි අලෙවියක් සිදු වන්නේද ඔවුන් වෙතය .


බුදු දහමින් මත්පැන් පානය ප්‍රතික්ෂේප කොට ඇත්තේ මිනිසාට එය අනවශ්‍ය දෙයක් නිසාය . ආගමික තහනම පවා බුදු දහමට අනුව ඉදිරිපත් කර ඇත්තේ අකුසලයෙන් එනම් අපගාමිත්වයෙන් ඈත් වීමටය. එහෙත්  කිතුණු දහමේ එය එසේ කියා නැත. ආගමින් ආගමට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන කරුණක් ලෙසද මත්පැන් භාවිතය සම්බන්ධ වූ  අපාගාමී චර්යා පෙන්වා දිය හැක. 


ප්ලේටෝ කියන්නේ අපාගාමී පෞරුෂය සහිත පුද්ගලයින් බිහි වන්නේ අයහපත් රාජ්‍ය පරිසරයන් තුලින් බවයි. 

 මේ අනුව සමාජ දේශපාලනය  කාර්ය යහපත් පුද්ගලයකු බිහිවීම් පිණිස බලපා  ඇති බව එදා පෙන්වා දී ඇත. නවීන රජ්‍යන්හි මත්පැන් භාවිතා කරන්නන් වැඩිව ඇත්තේ එම තර්කයට අනුව වන්නට පුළුවන . එනම් යම් රටක සමාජ දේශපාලනය සහ අපාගාමී පුද්ගල චර්යා අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව මේ අනුව පෙනේ. ඒ වගේම අද වන විට දේශපාලන අපරාධ බහුතරයක් සිදුවන බව අප දනී. එදා සමාජයේත්, බලය ලබා ගැනීම සදහා අපාගාමී චර්යාවන් සදහා මිනිසා අනුගතවූ බව ප්ලේටෝ දැක ඇත.


ඇරිස්ටෝටල් විසින් සොක්‍රටීස්ගේ ආචාරධර්මවාදය විවේචනය කොට ඊට වෙනස්ව යමින්

 දැන දැන වැරදි කරන පුද්ගලයා සදාචාරයෙන් දුර්වල පුද්ගලයකු බවත් ඔහු වැරදි කල විට වේදනා විදි , පසුතැවිල්ලට පත්වේ , ඒ වගේම ඔහු සම්පුර්ණයෙන්ම හොද වන්නේද නැත, නරක වන්නේද නැත ඔහු යහපත හා අයහපත අතර සිටි.  

මේ අනුව ඔහු මිනිස් ක්‍රියාව කොටස් දෙකකට බෙදා ඇත.

       I.            ඉච්චානුගත ක්‍රියාව

     II.            අනිච්චානුගත ක්‍රියාව 


 සිය කැමැත්තෙන් කරන ක්‍රියා වලට දඩුවම් ලැබිය යුතු බවත් කැමැත්තෙන් තොරව සිදු කරන ක්‍රියා සදහා සමාව දියයුතු බව පෙන්වා දෙමින් ඥානවන්තයින් තුල වුවද අපාගාමී චර්යාවන් බිහි වන්නට හැකි වන බව ඉහත තර්කයෙන් පෙන්වා දේ. ඔහුගේ නීතියේ සිද්ධාන්තය නම් ඉදිරිපත් කිරීමේ එලෙසින් සටහන් කර ඇත. 


මෙහිදී මනෝ විද්‍යාත්මක වශයෙන් , සොක්‍රටීස්ට වඩා ඇරිස්ටෝටල් මිනිසාට නොවැලක්විය හැකි ආවේග පිලිබදව මුල්තැන දෙමින් පැහැදිලි කර ඇත. 

මා මෙය දකින්නේ නීතියේ සිද්ධාන්ත වලට අනුව අපරාධයක් සිදුවීම සදහා  චේතනාවක් නොතිබූ  බවට ඔප්පු වී ඇති විට  , මිනිසා වෙත සහන සලසන ආකාරය පෙන්වා දිය හැක. 


මේ අනුව අවේග පාලනය කිරීමේ නොහැකියාවද මත්පැන් පානය සදහා යොමු වූ එක් කාරණාවක් බව හදුනාගෙන ඇත. එනම් මත්පැන් පානය කරන පුද්ගලයා කොතරම් දුර්වලයකු උවත් , ඔහුගෙන් සෑම විටම වැරදි සිදු නොවේ. මෙය මනෝ විද්‍යාත්මක හේතු කාරණාවකි. 

අනෙක් අතට,  මත්පැන් පානය කරන ලද  පුද්ගලයා හට  ආවේග පාලනය කිරීම  අපහසු  වන බවද මත්පැන් හා සම්බන්ධ අපරාධ දෙස බැලීමේදී පෙනී යයි. මෙයද මනෝ විද්‍යාත්මක කරුණකි.


අද සමාජයේ මිනිස්සුන් වැරදි කරවීමට පෙළඹෙන  සාධකය ලෙස යම් අවස්ථාවක මිනිසා  සිටින, සමාජ සංස්කෘතිය හේතු වේ.  වේ. ඒ දෙසට මිනිසා තල්ලු වන්නේ ඔහු නොදනුවත්මය සංස්කෘතියේ එක වැදගත් අංගයක් නම් මත්පැන් පානය,  එම සන්ධර්භය තුල , එය ඔහු විසින් කල යුතු වේ. මත්පැන් පානය සදහා ඇබ්බැහිවුවන්ගේ මුල් අඩිතාලම වැටෙන්නේ මේ අනුවය. මේ සදහා සමාජ උප සංස්කෘති න්‍යාය බලපා ඇති බව පෙනේ. 

තවද , සමහර සංස්කෘතින්  තුල අපරාධ සදහා පෙළඹවීම් සිදු කෙරේ . ගෝත්‍රික සමාජ තුල මේවා වැඩි වශයෙන් සිදු වන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කිරීමට යාමෙනි. 

විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තිබෙන නවකවදයද එවැන්නකි.


එපික්යුරස්ගේ ආචාරවාදී දර්ශනයේ කේන්ද්‍ර හරය වන්නේ සොම්නසය. එයට අනුව සමහර ආශාවන් තෘප්තිමත් නොකිරීමෙන් වේදනාව ඇති වේ. එනිසා නරක පුරුදු පුද්ගල පෞරුෂයෙන් බැහැර කල යුතු බව ඔහුගේ අදහස් විය . 


ඉහත තර්කයට අනුව මත්පැන් පානය කරන පුද්ගලයකු එමගින් ඈත් කිරීමට උත්සහ ගැනීමේදී ඇතිවන ශාරීරික වේදනාව  මත් නිවාරණය කිරීමේදී දැකගත හැක. මෙය පුද්ගලයා තුල මනෝ කායික සිද්ධාන්ත අනුව සිදු වන්නකි. 

තවද අසම්මත හැසිරීම් නිසා ලබන කායික තෘප්තියද මෙවැන්නකි.


ස්ටෝයික්වාදින්ගේ අදහස වුයේ අධ්‍යාපනය නොමැති මිනිසා තිරිසනෙකුට සමාන බවයි. එම නිසා  ඇති වූ අවිද්‍යාව  තුල අපාගාමී චර්යා හැඩ  ගැසෙන බවයි. 


අපාගාමී චර්යාව පිළිබද වාර්තා වලට අනුව අපගේ පර්යේෂණ වලදී වැඩි වශයෙන් සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වුයේ පහල අධ්‍යාපන මට්ටමේ සිටින  අයවලුන් වේ. එම හේතුවෙන්, මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් ලෙස අපාගාමී චර්යා ඉගෙන ගනී. එම නොදැනුවත්කම තුලින් මත්පැන් පානය සදහා පුද්ගලයින් යොමු වන බවත් අද්‍යාපනය හා චර්යාව අතර සම්බන්ධතාවයක් ඇත යන මතය තහවුරු වේ. මේ අනුව ස්ටෝක්වාදින්ගේ තර්කය හා එකගවිය හැක. 

එහෙත්, ඉහල අධ්‍යාපනය ලබා ඇති අය කෙරෙන්ද අපාගාමී චර්යා ලක්ෂණ පහල වී ඇති බැවින් එදා වලංගු වූ මෙම තර්කය අද වන විට බිද වැටෙමින් පවතී .


තෝමස් හොබ්ස්ට අනුව මිනිසා ස්වභාවයෙන්ම චණ්ඩ ගති ඇත්තෙක් බව පැවසේ. මිනිසා විවිධ ආශාවන් සපුරා ගැනීමට අපාගාමී ලෙස කටයුතු කරන බව දක්වා ඇත. 

සෑම මිනිසකු තුලම චණ්ඩ ගති ඇති බව පිළිගත හැකිවේ. එය මනෝ විද්‍යාත්මක සාධකයකි. එහෙත් සෑම කෙකෙකුටම වක හා සමාන ලෙස අපාගාමී චර්යා පාලනය කිරීමේ හැකියාව අඩු වැඩි වේ. එම හේතුවෙන් එම චණ්ඩ  ගති සමහර අය තුලින් පමණක් විද්‍යමාන  වේ.


ජෝන් ලොග්  පවසන්නේ මිනිසාගේ ගති පැවතුම් ගැන මෙලෙසිනි. ස්වභාවික යුගයේ මිනිසා හොද ජිවිතයක් ගත කල අතර  මිනිසා තුල අපාගාමී  පෞරුෂ බිහි වීමෙන් සදාචාරයට තර්ජන එල්ලවීම නිසා සමාජ සම්මුතියක් මත සිවිල් ආණ්ඩුවක්  හා මිනිස් ගැටළු විසදීම සදහා අධිකරණ ක්‍රමයක් බිහිවී ඇති බවයි. 

ලොග් ගේ එම මතය හා එකග විය හැක. මිනිසුන් සිදු කරන වැරදි නිසා
අධිකරණ ක්‍රමය බිහිව ඇත. ස්වභාවික යුගයේ සාමයෙන් සිටි මිනිසා තුල අපාගාමී චර්යාවන් බිහිව ඇත්තේ බලයට ඇති ආසාව නිසාත් , ඒ තුලින් අපාගාමී චර්යා වලට ඉඩක් ඇති සිවිල් සමාජය බිහිව ඇති නිසාය .


ස්පිනෝසාගේ දර්ශනයට අනුව මිනිසා අපගාමිත්වයට පත් වෙන්නේ පුද්ගල අභ්‍යන්තරයේ ඇති අවිද්‍යාව නිසා බැවින් හොද - නරක පිළිබද අවබෝධයක් මිනිසාට නොලැබෙන බවත් දක්වා ඇත. 

 ඒ වගේම මිනිස් චර්යාව තීරණය වීමේ සාධකයක් ලෙස නිෂ්ක්‍රිය හා සක්‍රිය ආවේග දක්වා තිබේ. 


ඩේවිඩ් හියුම් ගේ දර්ශනයට අනුව මිනිස් ක්‍රියාවන් සමාජයට යහපතක් වන්නේ නම් එය සදාචාරාත්මක වන බවත් අයහපතක් වන්නේ නම් එවැනි ක්‍රියාවන් දුෂ්චරිතවත් වන බවත් පවසා ඇත.

එමගින් ගම්‍ය වනුයේ සදාචාර විරෝධී , සමාජ අසම්මත චර්යාවන් පවතින පුද්ගලයා තුල අපාගාමී පෞරුෂයක් දක්නට ලැබෙන බවයි. එහිදී සොම්නස ලබා ගැනීම සදහාත් වේදනාවෙන් ඈත් වීම සදහාත් සමාජ අසම්මත ක්‍රම පුද්ගලයා  භාවිතා කරන බවයි. 


අපාගාමී චර්යාවෙන් යුක්ත පුද්ගලයා බොහෝ විට ප්‍රථමික හා ද්විතියික ප්‍රේරණ  සන්තර්පණය කර ගැනීමට යාමේදී පොදු සදාචාර නිතින් උල්ලංඝනය කරනු ලන බව , සිග්මන් ප්‍රොයිඩ් පවසා ඇති අතර එය ස්වභාවයෙන් මිනිසාට ලැබුණු ආශයක් බවද දක්වා ඇත. 


කාල් මාක්ස්ට අනුව ධනවාදී ආර්ථික රාමුව තුල මිනිසාට ඇති වූ ඉච්චාබංගත්වය හා අසහනය නිසා  පරාරෝපනය වීමෙන් අපාගාමී පෞරුෂය ගොඩ නැගෙන බව දක්වා ඇත . 

මිනිසා සුරා කෑමට ලක්වන විට ඇතිවන ඉච්චාබංගත්වය හා අසහනය නිසා දුගිභාවයට පිළියම් සෙවීමට යාමේදී මිනිසා අපගමිත්වයට පත්ව ඇති බව නුතන සමාජය තුල සිද්ධි ගවේෂණයෙන්  ඔප්පු කල හැක. සොරකම් කිරීම වැනි වැරදි සිදු වන්නේ එවිටය.  

ඉහත දක්වා ඇත්තේ මා පොත්පත් කියවීමෙන් සොයා ගන්නා ලද මතවාද කීපයක් පමණි. ඔබ දන්නා අපාගාමී චර්යා සම්බන්ධ  වෙනත් දාර්ශනික මතවාද ඇත්නම් මේ post එකට එකතු කරන්න .

( මිනිසාගේ අපාගාමී චර්යා පිළිබද අපරාධ විද්‍යාත්මක මග පෙන්වීමකි. )

Friday, April 21, 2017

පර්යේෂණයක ක්‍රමවේදය යනු කුමක්ද ?




          පර්යේෂණයක විධික්‍රමය යනු ක්‍රමවේදය නොව , ක්‍රමවේදය යනු විධික්‍රම පිළිබද න්‍යායික හා දාර්ශනික පදනම සහ සාධාරනියකරණයන් කිරීමයි.
තම තේරීම යම්කිසි න්‍යායික තලයක සිට සාධාරණියකරණය කිරීමට පර්යේෂකයාට සිදු වේ. මෙය “විධික්‍රමය පිළිබද ක්‍රමවේදාත්මක සාධාරණියකරණය” වේ. මෙලෙස සාධාරණියකරණය කරන ඉහල තලය නම් , “ ඥානය පිළිබද විද්‍යාවයි ” . එනම් , ඥාන මිමන්සාවයි .
පර්යේෂණය යනු ඥානසම්පාදනය කිරීම නම්, විධික්‍රමය පිළිබද ඥානනය කරමින් න්‍යායාත්මක මග පෙන්වීම යටතේ , ඥාන මිමන්සාත්මක සාධාරණියකරණයක් කල යුතු වේ.
 ඥාන මිමන්සාව දර්ශනවාදයේ ශාඛාවකි. එහිදී , ඥාන මිමන්සාව විවරණය වන්නේ පහත ප්‍රශ්න වලට අනුවය.
·       ලෝකය ගැන දැනුම ලබා ගැනීමට ඇති මාර්ග මොනවද ?
·       තමන් විසින් සොයාගත් දැනුම, ඥානය වලංගු බව කියන්නේ කුමන පදනමක සිටද ?
·       ඥානය ලබා ගැනීමට ඇති මාර්ග වලින් වඩාත්  වලංගු වන්නේ කුමන මාර්ගද ?
·       අපගේ දැනුමෙහි වාස්තවිකත්වයක් නැතහොත් නිශ්චිතභාවයක් තිබෙන්නේද ?
·       ඥානයේ නිශ්චිත බව සදහා ඇති මිනුම් දඩු මොනවද ?
·       වාස්තවික ඥානයක් කියා දෙයක් නැතිනම් , ඥානය යනු සාපේක්ෂ දෙයක්ද ?
පර්යේෂණය යනු , ඥාන සම්පාදන මාද්‍යක් යයි , තේරුම් ගත විට ඉහත ප්‍රශ්න විසදා ගත හැක.
සමාජීය විධ්‍යවන්ගේ ක්‍රමවේදාත්මක සම්ප්‍රධායන් දෙකක් ඇත.
1.    වාස්තවිකවාදී සම්ප්‍රධාය
2.    මනොමුලවාදී සම්ප්‍රධාය
එහෙත් , 1970 වර්ෂයේදී මෙම සම්ප්‍රදායන් දෙකට විකල්ප ලෙස , විවේචනාත්මක යථාර්ථවාදය ( critical realism ) නමැති සම්ප්‍රදාය බිහි වුනි.
ක්‍රමවේදය පිළිබද වාස්තවිකවාදී සම්ප්‍රදාය සම්බන්ධ වී තිබෙන්නේ ප්‍රත්‍යක්ෂමුලවාදී හා අනුභූතිවාදී සමාජීය විද්‍යා සමගය. 
වාස්තවිකවාදී   ක්‍රමවේදයේ මුලික මුලධර්ම
·       වාස්තවික ලෝකය මිනිසාට එපිටින් තිබෙන දෙයක් නිසා , මනුෂ්‍ය චින්තනයට පරිබාහිරව සහ ස්වාධීනව පවත්නා වාස්තවික යථාර්තයක් (objective reality ) ලෙස පවතී.
·       ගවේෂණය සදහා වූ වාස්තවික විධික්‍රම මගින් ,  වාස්තවික ලෝකය ඥානනය කරන්නේ පර්යේෂකයාගේ පුද්ගලික අදාස් වලින් සහ අගතීන්ගෙන් ස්වාධිනවය.
·       වාස්තවික ඥානය වනාහි , පුර්ව ඇගයීම් වලින් තොර (value – free ) විද්‍යාත්මක හා සත්‍යෙක්ෂණය කල හැකි දැනුමකි.
·       වාස්තවික පර්යේෂණ විධික්‍රම අවශ්‍ය වන්නේ , වාස්තවික ලෝකය පිලිබදව අපගෙන් සිදුවන අගතීන්ගෙන් දුෂණය නොවූ කරුණු (hard data ) ලබා ගැනීමටය. මේ සදහා යොදා ගන්නේ , ප්‍රමාණික හා ප්‍රමානගත කල හැකි දත්තයන් වේ.
මනෝ මුලවාදී ක්‍රමවේදයේ මුලික මුලධර්ම
·       සමාජීය හා මානවීය ලෝකයේ මනුෂ්‍යන් විසින් නිර්මාණය කරනු ලැබූ නිසා එය මනෝ මුලික ලෝකයකි.
·       වාස්තවික සත්‍ය හෝ වාස්තවික යථාර්තය කියා දෙයක් නැත. ලෝකය තේරුම් ගැනීම යනු මනෝ මුල ලෝකය මනුෂ්‍යන් ලෝකය තේරුම් ගන්න ආකාරයටම පර්යේෂකයාද තෙරුම් ගැනීමය.
·       පර්යේෂණයේ අරමුණ විය යුත්තේ මනුෂ්‍යන් තම සමාජ ලෝකය තේරුම් ගන්න ආකාරය ඔවුන්ගේම ප්‍රභේදයන් මගින් තේරුම් ගැනීමයි.
දහනම වන සියවසේ පටන් සමාජීය විද්‍යාවන් වර්ධනය වුයේ වාස්තවික - මනෝ මුලවාදී බෙදීම් පදනම් කොට ගෙනය. නමුත් මෙම සම්ප්‍රධායන් දෙකට පරිබාහිරව විවේචනාත්මක යථාර්ථවාදය විකල්ප ප්‍රවේශයක් ලෙස බිහි වුන අතර එම ප්‍රවේශයේ උපකල්පන පහත ආකාරය වේ. මෙම ප්‍රවේශය වැඩි දියුණු කලේ රෝයි භාස්කර් හා ඔහුගේ සගයන් විසිනි.
·       සමාජ ලෝකයේ පවතින යථාර්තයක් නම් , සමාජ ව්‍යුහයන් , සමාජ ක්‍රියාවලින්, සමාජ පන්ති සහ ආර්ථික සම්බන්ධතා යන මනුෂ්‍යන්ගේ පැවැත්මේ තත්වයන් ප්‍රධාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ මෙම වාස්තවික යථාර්තයන් විසිනි .
·       මෙම වාස්තවික යථාර්තයන් මිනිසාට ඥානනය කල හැක. මනුෂ්‍ය වීඥානයට ඒවා ග්‍රහණය කල හැක. තේරුම්ගත හැකිය.
·       මනුෂ්‍යයින් වාස්තවික යථාර්ථයේ වහළුන් නොව මනුෂ්‍ය තර්කනයන්ට ඒවා වෙනස් කල හැකිය.
සමාජීය විද්‍යා පර්යේෂණ සදහා ඇති හොදම විධික්‍රම වන්නේ ප්‍රත්‍යක්ෂමුල / අනුභූතිවාදී විධික්‍රමයන්ය . (ප්‍රජා විද්‍යාඥයින් , භූගෝල විද්‍යාඥයින්, දේශපාලන විද්‍යාඥයින්, ) විසින් බොහෝ විට භාවිතා කොට ඇත. ලංකාවේ බොහෝ පර්යේෂකයින් මේ සදහා අනුගතවී ඇත. එහෙත් මේ සදහා විවෙචාන එල්ල වූ අතර එයට විකල්ප ලෙස පහත වර්ගීකරණය බිහිවිය.
v පශ්චාත් - ප්‍රත්‍යක්ෂමුල ක්‍රමවේදයන වර්ධනය වෙමින් එයට සාපේක්ෂව ,
§  ප්‍රපන්චවේදය (phenomenology)
§  මානව ප්‍රජා ක්‍රමවේදය (ethnomethodalogy)
§  මාක්ස්වාදය
§  විචාරාත්මක න්‍යාය
§  අර්තදිපනවේදය
(විද්‍යාව, ඉතිහාසය, ස්ත්‍රීවාදී අධ්‍යන, සංස්කෘතික හා සාහිත්‍ය අධ්‍යන, ආගම් අධ්‍යන) වැනි සමාජීය හා මානවීය විද්‍යා පර්යේෂණ සදහා යොදා ගෙන ඇත.
මෙම විධික්‍රමික පියවර සියල්ල නිශ්චිත ක්‍රමවේදාත්මක උපකල්පන කීපයක් මත පදනම් වේ. ඒවා නම් ,
·       පර්යේෂකයා තමන් අධ්‍යනය කරන මනුෂ්‍ය ලෝකයට ඇතුළුව තේරුම් ගත  යුත්තේ , ප්‍රජාවගේම සංස්කෘතික , බුද්ධිමය සහ කතිකාමය ප්‍රභේදයන් ආශ්‍රිතව යන්නයි.
·       පර්යේෂකයාගේ කාර්ය වන්නේ මනුෂ්‍යන් විසින් ගොඩ නගන ලද සමාජ යථාර්තය මතුකොට පෙන්වීමයි. එය මනුෂ්‍යාට ස්වාධීනව පවතින යථාර්තයක් නොව මනුෂ්‍යා විසින්ම තම එදිනෙදා ජීවිතය සදහා ගොඩ නගා ගනු ලබන්නකි. යථාර්තය මනෝ මුල එකකි. මිනිසා විසින් නිර්මාණය කර ගත්තකි.
මෙහි කේන්ද්‍රීය අදහස නම් , ස්වභාවික විද්‍යාවන් තුල වර්ධනය වූ අනුභූතික අදහස නම් , අවශ්‍ය සංශෝධන සහිතව , සමාජ හා මානවීය ලෝකය අධ්‍යනය කිරීමට යොදාගත යුතුය යන්නයි. සමාජය අධ්‍යනය කිරීමට විද්‍යාවක් අවශ්‍ය වන්නේ නම් , ඒ සදහා ස්වභාවික විද්‍යා උපක්‍රමය අනුගමනය කල යුතුය.
 එහෙත් සමහර චින්තකයින් මෙයට අභියෝග කොට සමාජය හැදෑරීමට නම් , සමාජ අධ්‍යනයට සුදුසු සමාජීය විද්‍යා ක්‍රම ගොඩ නැගිය යුතු  බව කියා සිටි. මෙහිදී
ප්‍රත්‍යක්ෂමුල ක්‍රමවේදය “ විද්‍යාවන්ගේ ඒකත්වය “  (unity of sciences ) වෙනුවෙන් පෙනී සිටි.
පශ්චාත්  - ප්‍රත්‍යක්ෂමුලවාදී ක්‍රමවේදය  වෙනුවෙන් පෙනී සිටියේ, විද්‍යාවන්ගේ සුවිශේෂත්වය (specificity of sciences )
මෑත කාලයේ මතුකර ගත් තවත් ද්විත්ව විභේදනයක් නම් ,
1.    වාස්තවිකත්වය - මනෝ මුලත්වය (objectivity - subjectivity )
2.    ව්‍යුහය - කතෘකයා (structure – agency)
ක්‍රමවේදය පිළිබද සිතා ගැන්මකට පර්යේෂකයා අදහස් කරන විට මෙම පියවර අනුගමනය කල හැක.
·       යෝජිත පර්යේෂණය සදහා සුදුසු විධික්‍රම මොනවාදැයි තාවකාලිකව තීරණය කිරිම. ඉන් පසු , එම විධික්‍රම වල ක්‍රමවේදාත්මක හා ඥාන මිමන්සාත්මක උපකල්පන හා පදනම ගැන සිතිය හැක. 
ප්‍රත්‍යක්ෂමුලවාදී ඥාන මිමන්සාව සහ  විධික්‍රමය
·       මෙම විධික්‍රමය සකස් විය යුත්තේ සමාජ ප්‍රපංචයන් පිළිබද කරුණු සෙවීමටය. (hard facts )
·       එම කරුණු විග්‍රහ කල හැකි කරුණු නම් මානනය ,පරික්ෂාව , සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණය යන ඒවා වේ.
·       එම විශ්ලේෂණ මගින් , සමාජ ලෝකය පිළිබද නීති , සහ පැහැදිලි කිරීම් සොයාගත හැකිය. මේවා ප්‍රත්‍යක්ෂමුලවාදයේ හැදින්වෙන්නේ දත්ත යනුවෙනි.
·       මේ සදහා යොදා ගන්නේ සමාජ සමීක්ෂණ , කුටුම්භ සමීක්ෂණ , ප්‍රශ්නාවලින්, සංඛ්‍යාත්මක ක්‍රම යනාදියයි.
·       සමාජ ලෝකය පිළිබද “ නීති වැනි පැහැදිලි කිරීම් “  (law- like explanations ) කල හැක්කේ එවිට යයි ප්‍රත්‍යක්ෂමුල සමාජ විද්‍යාව සිතයි.
·       තම උපන්‍යාස පරික්ෂා කිරීමට ප්‍රමාණික දත්ත අවශ්‍ය බව සිතති. “ හුදු දත්ත “ (brute data )  පිළිබද ඇත්තේ දැඩි විශ්වාශයකි. එම නිසා නියැදි සමීක්ෂණ සිදු කිරීමටත් , දත්ත විශ්ලේෂණය කිරීමට අවශ්‍ය දියුණු සංඛ්‍යාන විද්‍යාත්මක හා ගණිතමය ක්‍රම වර්ධනය කිරීමටත් ප්‍රත්‍යක්ෂමුලවාදය සමත්ව ඇත. 
පශ්චාත් - ප්‍රත්‍යක්ෂමුලවාදී ඥාන මිමන්සාව : ප්‍රපන්චවේදය සහ  විධික්‍රමය
·       මොවුන් උනන්දුවක් දක්වන්නේ දත්ත වලටම  නොව , දත්ත පිටුපසින් ඇති මනුෂ්‍ය අත්දැකීම ගැනය. වාස්තවික දත්ත පිටුපස ඇති පුද්ගලික ක්‍රියාවලිය සහ අධ්‍යාශත්වය (intentionality ) ගුණාත්මකව තේරුම් ගැනීමේ විධි ක්‍රමයකි. ප්‍රපන්චවේදයෙන් එය යෝජනා  කෙරේ.
·       මනුෂ්‍ය අත්දැකීම් පිළිබද ගැඹුරු විස්තර (thick descriptions ) ගොඩ නැගීම සිදු කරයි .
·       මෙම ප්‍රපන්චවේදයෙන් අවදාරණය කරන්නේ හුදෙක් පැහැදිලි කිරීම් නොව (explaining ) නොව සමාජ ලෝකය අර්ථකතනාත්මකව තේරුම් ගැනීමයි . මනුෂ්‍ය ක්‍රියාවන් එම ක්‍රියාවන් කරන පුද්ගලයින්ගේ දෘෂ්ඨි කෝණයෙන්ම අර්ථකථනය කිරීමයි.
·       මේ සදහා විස්තෘත සම්මුඛ සාකච්චා , කණ්ඩායම් සාකච්චා යන ගුණාත්මක පර්යේෂණ විධික්‍රම භාවිතා කල හැක.
·       මනෝ විද්‍යාව , හෙද විද්‍යාව , අධ්‍යාපන විද්‍යාව , සමාජ සේවා විද්‍යාව වැනි ක්ෂේත්‍ර වල පර්යේෂණ ප්‍රපන්චවේදයෙන් මග පෙන්වනු ලැබේ.
·       පර්යේෂකයින් බොහෝ විට තමන් අධ්‍යනය කරන මනුෂ්‍යයින් සමග කෙරෙන ගුණාත්මක සංවාද ශ්‍රව්‍ය - දෘශ්‍ය පට වල වාර්තා කර ගනී.
·       සමාජ ලෝකය අත් දකින මනුෂ්‍යන්ට තම ක්‍රියාවන් පිලිබදව කරන අර්ථකතන ඔවුන්ගේම පරිකල්පනය සහ වචන ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීමයි. මෙහිදී , (understanding ) තේරුම් ගැනීම යන සංකල්පය භාවිතා වන්නේ පර්යේෂකයා ලබන අවබෝධයම නොව ප්‍රධාන වශයෙන්ම සමාජ පාත්‍රයන් සතු අවබෝධයයි.
·       සමාජ ලෝකය පර්යේෂකයා තේරුම් ගැනීමේදී සමාජ පාත්‍රයන් කතෘකයන් වශයෙන් සැලකීමේ හා ඔවුන්ගේ මනෝ මුල අත්දැකීමට ප්‍රමුඛත්වය දීමේ ප්‍රපන්චවේදය සතු ඥාන මිමන්සාත්මක ස්ථාවරයද මෙයින් ප්‍රකාශයට පත් වේ.
·       ස්වභාවික වස්තුන් මෙන් නොව මනුෂ්‍යන්ගේ ඇති ලක්ෂණයක් නම් ඔවුන් සමාජ ලෝකයේ ක්‍රියා කරන ගමන්ම , සමාජ ලෝකයද අර්ථකථනය කිරීමයි. තමන්ගේ ක්‍රියාවන්ද අර්ථකථනය කරයි. පර්යේෂකයා කරන්නේද අර්ථකතනමය ක්‍රියාවකි. ප්‍රපන්චවේදයේ මෙම ක්‍රියාවලිය හැදින්වෙන්නේ “ අර්ථකතනාත්මක ලුපය “ (interpretative loop )
පශ්චාත් - ප්‍රත්‍යක්ෂමුලවාදී ඥාන මිමන්සාව : මානව ප්‍රජා ක්‍රමවේදය සහ  විධික්‍රමය
මෙම ක්‍රමවේදය සමාජ විද්‍යාව තුල වර්ධනය වුයේ 1970 ගණන් වලදී ඇමරිකාවේදීය  .
·       මෙය ප්‍රපන්චවේදයේ අභාෂය ලැබූ ක්‍රමවෙදාත්මක හා විධික්‍රමික ප්‍රවේශයකි. එබැවින් , මානව ප්‍රජා ක්‍රමවේදයේ විධික්‍රමය , ප්‍රපන්චවේදයේ විධික්‍රමයට සමාන්තරය.
·       මානව  ප්‍රජා ක්‍රමවෙදින් උනන්දු වන්නේ සමාජ පාත්‍රයින්ගේ එදිනෙදා ජිවිතයේ ඇති අත්දැකීම් , භාවිතයන් , පරිකල්පන සහ වචන තුලින්ම ඒවායේ අර්ථයන් තුලින්ම සමාජ ලෝකය තේරුම් ගැනීමටය.
·        මානව ප්‍රජා ක්‍රමවේදයත් ඥාන සම්පාදනය පිලිබදව ඇති මනෝ මුලික / කතෘ මුලික ව්‍යාපෘතියකි.
·       සමාජ පාත්‍රයන්ගේම කටයුතු , එකී ක්‍රයාකාරකම් වල පසුබිම , සන්දර්භය යනාදිය සම්බන්ධව සමාජ පත්‍රයින්ම සතු දැනුමට සාධාරණය ඉටු කල හැකි විකල්ප ක්‍රමවේදයක් හා විධි ක්‍රමයක් ගොඩ නැගීමයි.
·       එකී පාත්‍රයින්ගේ ක්‍රියාකාරකම් පිලිබදව ප්‍රභවයෙන්ම ලැබෙන විස්තර කිරීම් (first – hand accounts ) වූ කලි සමාජ විද්‍යාත්මක තේරුම් ගැනීමට ඇති ඉතාම වටිනා මුල ද්‍රව්‍යයි.  
·       මානව ප්‍රජාවේදයේ විධික්‍රම කතෘකයා කේන්ද්‍ර කොටගත් (actorcentric ) සහ ( subject – oriented ) ඒවාය.
·       ඒවා ගුණාත්මක විධික්‍රමයන්ය. මානව ප්‍රජා ක්‍රමවේදීන් ප්‍රමාණික දත්ත ගැන එතරම් විශ්වාශ තබන්නේ නැත.
·       මේ සදහා සම්මුඛ සාකච්චා හා සභාගීත්ව නිරීක්ෂණ යන විධික්‍රම දෙකම භාවිතා කරයි. මානව ප්‍රජා ක්‍රමවේදීන් සිතන්නේ සමාජ පාත්‍රයින් “ ප්‍රයෝගික න්‍යායවාදීන් “ (practical theorists ) බවයි.
·       තමන්ගේ සමාජ ලෝකය තේරුම් ගැනීමට සහ අර්ථකථනය කිරීමට අවශ්‍ය විධික්‍රම හා න්‍යාය ඔවුන් සතුව තිබේ. එය වූ කලි මනුෂ්‍යයින් සතු “ අප්‍රකාශිත ඥානයයි “
·       මානව ප්‍රජා ක්‍රමවේදී පර්යේෂණ අවදානය යොමු කරන්නේ සමාජ ජිවිතයේ විශාල සිදුවීම් වලට නොව , නොවැදගත් හා නොවටිනා දේවල් ලෙස අප සාමාන්‍යයෙන් සලකන ව්දිනේදා ජිවිතයේ සිදුවීම් වලටය. 
විධික්‍රමය පිළිබද පශ්චාත් නුතන දැක්ම
ප්‍රංශ ජාතික චින්තකයකු වූ ලියොතාද් පශ්චාත් නුතන  චින්තනයේ ආරම්භක හා ප්‍රමුඛ පෙලේ දාර්ශනිකයෙකි. “ මහා ආඛ්‍යාන ගැන සැක පහල කිරීම “ පශ්චාත් නුතනවාදයේ ප්‍රධාන ලක්ෂණයකි.ලෝකය තේරුම්  නැගීමේදී ප්‍රබුද්ධ යුගයේදී භාවිතා කල ලිබරල්වාදය , මාක්ස්වාදය , ඓතිහාසික භෞතිකවාදය , නවීකරණය වැනි නුතනත්වයේ මහා න්‍යායන් පශ්චාත් නුතනයෙදී වලංගු නොවේ.  
·       පශ්චාත් නුතනවාදීහු යුරෝපිය ප්‍රබුද්ධ යුගයේ දාර්ශනික  ඥාන මිමන්සාත්මක , ක්‍රමවේදාත්මක  හා සහ න්‍යායික උරුමය ප්‍රතික්ෂේප කරති.
·       මොවුන්ගේ විධික්‍රම තුල සමාජ හා ඓතිහාසික ක්‍රියාවලින් තෙරුන් කරන මහා විශ්වමය න්‍යායන් නැත. ඇත්තේ කුඩා ක්ෂුද්‍ර න්‍යායන් හා ක්‍රියාවලින්ය.
·       විද්‍යාව නැතහොත් දර්ශනවාදය විසින් ගවේෂණය කල යුතු උත්තරානුභුතික (transcental ) සතයක් හෝ නිෂ්ඨාවක් හෝ නැත , එවැනි සත්‍යන් සොයා ගැනීමේ නීති - රීති ද නැත යන්නයි. මෙම තර්කය සදහන්ව ඇත්තේ ඇමරිකානු දාර්ශනිකයකු වූ රිචර්ඩ් රෝටී 1979 දී ලියු (philosopy and mirror of nature ) “ දර්ශනවාදය හා ස්වභාව ධර්මයේ ප්‍රතිබිම්බනය “ නම් කෘතියේය.
·       හේතුපල සම්බන්ධතාවය මොවුන්  ප්‍රතික්ෂේප කරමින් , “ අන්තර් - පාඨනත්වය (inter - textuality )  යන අදහස හදුන්ව දී ඇත. මෙහි ප්‍රධාන පරිමාවන් දෙකක් පිළිබද හදුන්වා ඇත.
                                  I.            යම්කිසි නිශ්චිත හේතුවක් සහ නිශ්චිත ප්‍රතිපලයක් අතර ඍජු සම්බන්ධතාවයක් ඇත යන්නයි.
                               II.            එක හේතුවකට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට හේතුන් සහ පලයන් අතර ඇති සම්බන්ධතා වල බහුවිධ ඵලාත්මකත්වය යෝජනා කිරීමය. ඒ අනුව හේතුන් සහ ඵලයන් අතර සම්බන්ධතාවය තාවකාලික එකක්  බව පවසයි.
පර්යේෂකයා හේතු ඵල සම්බන්ධතාවය පැහැදිලි කරන්නේ , සරල හේතු ඵල සම්බන්ධතා රාමුවක සිට නොව හේතුන් ගණනාවක සහ ඵලයන් ගණනාවක අන්‍යොන්‍ය වශයෙන් සංකීර්ණ සම්බන්ධතා දැකිය හැකි විධික්‍රමික රාමුවක් තුලය.
·       පශ්චාත් නුතනවාදීන් උනන්දු වන්නේ සම්ප්‍රදායන් හා පිළිගත් නිතින්ගෙන් පිට ( ou t of the box ) ආකාරයේ පර්යේශනයන්ය.  ලිවිම පිළිබද න්‍යාය හා සම්පාදනය පිළිබද අත්හදා බැලීම් වලටය.
·       පවත්නා ඥානය , බැරෑරුම් විග්‍රහ , සියුම් තර්කන , පවත්නා ඥානය රැඩිකල් ලෙස ප්‍රශ්න කිරීම මෙම පශ්චාත් නුතනවාදීන්ගේ ලක්ෂණ වේ.
·       ප්‍රශ්න  වලට පිළිතුරු සපයනවා වෙනුවට අධිපති හා පවත්නා ඥානය අස්ථාවර  කරන ප්‍රශ්න ඇසීම පශ්චාත් නුතනවාදීන්ගේ ලක්ෂණ වේ.

( ජයදේව උයන්ගොඩ මහතාගේ ,  සමජියිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම. න්‍යායික හා ප්‍රයෝගික මග පෙන්වීමක් , යන කෘතිය ආශ්‍රයෙනි . )