Monday, October 23, 2017

ගැටුම්වාදී න්‍යාය වර්ධනයෙහි “ කාල් මාක්ස් “ ගේ න්‍යායික දායකත්වය




ගැටුම්වාදී න්‍යාය මුලින් හදුනාගෙන ඇත්තේ එවකට පැවති බටහිර සංකල්ප මුල් කරගෙනය . යුරෝපයේ ඇති වුන විද්‍යා පුනරුධය හා සමාජ විප්ලවයන්හි ප්‍රතිපලයක් ලෙස හේගල්වාදී වූ මාක්ස්ගේ මැදිහත්වීම නව සමාජ සංස්කෘතියක් කරා වර්ධනය වීමට මාක්ස්වාදය  බලපාන ලදී. හේගල්ගේ අපෝහකවාදය තව දුරටත් අධ්‍යනය කිරීමට සහ එම දර්ශනය පුළුල් ලෙස සංවර්ධනය කරමින් , හේගල් මුලධර්ම හා අනුගත වූ ජර්මන් ජාතික , මාක්ස් හේගල්ගේ සමහර තර්ක ප්‍රතික්ෂේප කරමින් , පිළිගත හැකි සිද්ධාන්ත නැවත තහවුරු කර ගනිමින් තම න්‍යාය වර්ධනය කරන්නට විය එමගින් ගැටුම්වාදී න්‍යාය බිහි විය. මාක්ස් හෙගල්වාදියකු වීමට තීරණය කලේ , එම දර්ශනය සමාජ යථාර්ථ වෙනස් කිරීමට යම් දායකත්වයක් සපයන බැව් දුටු නිසාය .
කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. සමාජ සම්බන්ධතා හා කොමියුනිස්ට්වාදී අදහස් කැටි වූ , ප්‍රකාශන  (1930) දී ආර්ථික හා දාර්ශනික අත් පිටපත් යන මාතෘකාව යටතේ මුද්‍රණය කරන ලදී. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්‍රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගත් කෘතීන් වේ.
ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසුනී . මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. මෙම හමුවද මාක්ස්ගේ ගැටුම් න්‍යාය වර්ධනය වීමට හේතු  වුවකි.
1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.
මාක්ස් ආර්ථික නියතිවාදියෙකි, ඔහු කතා කලේ  ආර්ථික කරුණු මුල් කරගෙනය. නිර්ධන පන්තිය හා ධනපති පන්තිය අතර පවතින ගැටුමට හෙතුව අවදාරණය කරමින් ධනපති පන්තිය නිර්ධන පන්තිය සුරා කෑම සිදු වන ආකාරය විග්‍රහ කළේය. එම අදහස් දැක්වීම් මත ගැටුම් න්‍යාය ඉදිරියට වර්ධනය වන්නට විය. එවකට යුරෝපයේ පැවති ආර්ථික පුනුරුධය තුල වූ මේ සුරාකෑම , ධනේශ්වරය තුල වූ ප්‍රධානම ලක්ෂණය බවට තහවුරු කළේය. සුළුතර වූ දේපල හිමි පන්තිය විසින්  බහුතරය වූ නිර්ධන පන්තිය තම උපකරණය කර ගනිමින්  සමාජය තුල නව ප්‍රමිතීන් ගොඩ නගමින් සිටි ධනේශ්වර ක්‍රමයට අතුල් පහරක් එල්ල කල මාක්ස් සමාජය සංශෝධනය කිරීමට සිය මානසික ශක්තිය යොදවන්නට විය. මේ අරගලය මාක්ස්වාදය වේ.
මාක්ස් විසින් රචිත , හේගල්ගේ අයිතිවාසිකම් පිළිබද දර්ශනය කෘතිය පළවුයේ 1927 වර්ෂයේදීය. මාක්ස් මිය ගියාටත් පසුවය. තවද , සමකාලින ලේකඛයන් විසින් රචා කරන ලද යුරෝපයේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් මාක්ස්ගේ දර්ශනය අභාෂය ලැබූ ලේඛන විය. මාක්ස්ගේ ග්‍රන්ථ මුද්‍රණය වීමට ප්‍රථම , මාක්ස් පිළිබද ලියවුනු පොත්පත් වල සදහන් වුයේ මාක්ස්ගේ දේශපාලන අදහස් හා ආර්ථික විශ්ලේෂණයන් පිළිබද ආදහස් පමණි. මාක්ස්ගේ අදහස් හා න්‍යායන් පිලිබදව ඇති වූ නවෝදය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය වන විට ඉතා ඉහල විය.
මාක්ස් කම්කරු පන්තියේ අරගලය ආරම්භ කලද , නිර්ධන පන්තිය තුල මාක්ස්වාදය එක්වරම තහවුරු කිරීමට නොහැකි විය . මාක්ස්වාදයේ පැවැත්ම ආරම්භ වුයේ  1840 වර්ෂයෙන් ඉදිරියටය. එවකට පැවති සමාජ න්‍යායන්ට එරෙහිව අරගල කිරීමට මුලින්ම මාක්ස්ට සිදු විය . මුලින්ම මාක්ස් දාර්ශනික විනවාදය පිළිගත් රැඩිකල් හේගල්වාදින් සමග අරගල කරමින් ඔවුන්ගේ අදහස් මර්ධනය කරන්නට විය . තවද , එම කාලයේදීම ආර්ථික ක්ෂේත්‍රයේ ප්රුදොන්වාදයට එරෙහිවද අරගල කරන්නට විය 1848 ගණන් වලදී, පැවති පක්ෂ හා මතවාදයන්ට එරෙහිව විවේචන එල්ල කරමින් මාක්ස් තම මතය තහවුරු කරමින් ඔවුන් පරාජය කරන්නට විය. 1860 දී පමණ දී මාක්ස්ගේ අරගලය පොදු න්‍යාය ක්ෂේත්‍රයෙන් සෘජුවම කම්කරු ව්‍යාපාරයට සමීප වෙමින් එය ජාත්‍යන්තර මට්ටමින් බකුනින්වාදය නෙරපීමේ අරගලය බවට පත් කරවිය.
මේ වනවිට මාක්ස්වාදය අන්‍ය දෘෂ්ඨින් සියල්ලම පරදවා කම්කරු ව්‍යාපාර තුල නිසැක ජයග්‍රහණයන් ලබා තිබුණි. පෘදෝන්වාදී සම්ප්‍රදායන් පැවති ලතින් රටවල කම්කරු පක්ෂ පවා ඒවායේ ව්‍යවස්ථාවන් හා උපක්‍රම මාක්ස්වාදී  අර්ථයෙන්, සිය පදනම් සකස් කර ගත්හ . කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර සංවිධානය තම වැදගත් තීරණ වලදී මාක්ස්වාදී ස්ථාවරය මත ක්‍රියාත්මක කරන්නට විය. එහෙත් මාක්ස්වාදයට සතුරු වූ වෙනත් ධර්මයන් මාක්ස්වාදය යටපත් කිරීමට විකල්ප න්‍යායන් සොයන්නට විය. ඒ අනුව 1890 ගණන් වලදී , මාක්ස්වාදයට එරෙහි වූ උපනිතින්ගේ අරගලය ආරම්භ වන්නට විය.
කලෙකදී මාක්ස්වාදියකු වූ බර්ස්ටයින්ස් විසින් මාක්ස්ගේ ධර්මයට සංශෝධන ගෙන එමින් අන්දෝලාත්මක ලෙස මෙම සංශෝධන සිදු කරන්නට විය. මාක්ස්වාදී නොවන සමාජවාදය අදහන පිරිසක් සිටි රුසියාවේදී මෙම සංශෝධන ආදේශ කිරීමට උත්සහ කලත් මාක්ස් පුර්ව සමාජ වාදය පරාජය කරමින් දිගටම අරගලය කරගෙන ගොස් ඇත.
සංශෝධනවාදීන් ඉදිරිපත් කල නිසරු කතා ස්ථාවරවාදිව විවේචනය කල එකම තැනැත්තා ප්ලේහානව් විය.බකුනිවාදීන් මාක්ස්වාදී න්‍යායටත් කම්කරුන් පන්ති මාක්ස්වාදී අරගල වලටත් විරුද්ධ වුහ. එම තර්ක මාක්ස්වාදී න්‍යායට හාත්පසින්ම පටහැනි ඒවා විය.  බකුනින්ගේ ප්‍රතිගාමී අදහස් වලට කාල් මාක්ස් තීරණාත්මක ලෙස සටන් කරන ලදී . මේ සදහා මාක්ස්ට එංගල්ස්ගේ සහයද ලැබිණ. කෙසේ නමුත්  මාක්ස්වාදී න්‍යාය පරාජය කිරීමට නොහැකි විය. රුසියාව තුල නිත්‍යානුකුල මාක්ස්වාදීහු අර්ථිකවාදීහු  , බුන්ද්වරු හා මෙන්ශේවික්වරු බර්න්ස්ටයින්වාදයට ආධාර කළහ. එහෙත් මාක්ස් සිය න්‍යාය වඩාත් තහවුරු කර්ටමින් මාක්ස්වාදය දියුණු කරන්නට විය.
ඉහත හේතු හා ඝට්ඨන හේතුකොටගෙන මාක්ස් ලෝක සමාජය තුල වැදගත් චරිතයක් ලෙස නම් දරන්නට විය . සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය.
මාක්ස් සිය මාක්ස්වාදී දර්ශනය ඉදිරිපත් කිරීම සදහා කෘතීන් රාශියක් සම්පාදනය කරන ලදී. 1876 දී මාක්ස්, “ප්‍රාග්ධනයනාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර දර්ශනයේ පදනම බවට පත් වන්නට විය .
මාක්ස් තම ආර්ථික විද්‍යාත්මක විශ්ලේශනයන්හි ප්‍රධාන ලෙස සාකච්චා කලේ පෞද්ගලික දේපල නොව “ වෙළද පොලේ බලය “ යන සංකල්පයයි.
මාක්ස්ට අනුව ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ ඵෙතිහාසිකව ගොඩනැගුනක් බව  මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි.
 නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.
මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි.
කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය. සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධනය  අවධි 5 ක් මගින් පෙන්වා දී ඇත.
ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි. එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත. සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ. කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත. මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක. මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි. ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි. වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී. වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී. වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ. ඔවුනට අයිතිවාසියම් සීමා විය. ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය. මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය.
වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ. ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි. මෙම සමාජ ක්‍රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය. මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි. රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි. බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය. මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය. මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ.
වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත. වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි. ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි. නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි. මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ. කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය. ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ.
මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි. සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රාජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී. මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත. ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි. කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රායෝගිකව  දක්නට නැත. සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක. මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ.
මාක්ස්ට සමාන්තරව යන මනෝ වීද්‍යාඥයකු වූ ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක අදහස් වලට පවා මාක්ස්ගේ යථාර්ථ බලපාන ලදී. එනම් , සමානාත්මතාව හා සාමුහික ප්‍රයත්න මිනිසාගේ නෛසර්ග ගුණාංග නොවන බවත් එම ගුණාංග මහත් ප්‍රවේශමෙන් හා සීරුවෙන් ගොඩනගා ගත යුතු ගුණාංග වන බවත්ය. ප්‍රොයිඩ්ගේ එම අදහස  අන්තර්ගත වෙන්නේ මාක්ස්ගේ ” ආදර්ශ රාජ්‍ය “ නම් න්‍යාය ආශ්‍රයෙනි.
මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි. මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ. මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ. කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි.
ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී. මාක්ස්ට අනුව පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි. මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි. මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතා කර ඇත. එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය. එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි. මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය. පරාරෝපනය පිළිබද අදහස් මාක්ස් ඉදිරිපත් කලේ ආගම  ආශ්‍රයෙනි. 1844 මාක්ස් විසින්  රචිත “ ආර්ථික හා දාර්ශනික අත් පිටපත “  හි නොමග ගිය ශ්‍රමය නම් කාණ්ඩයෙහි මෙම පරාරෝපනය හොදින් විග්‍රහ කොට ඇත.
එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවිතා  කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි. එනම් ධනවාදී අර්ථ ක්‍රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි. එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්‍රාග්ධනය නිපදවයි. ධනපතියා සතුවන මෙම ප්‍රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී. නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්‍රාග්ධනය බවට පත්වී ධනවාදී සමාජය  තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය.
කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි. ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.  එසේත් නැතිනම් බිම් මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී. එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි. ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය. එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය.
ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත් වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘
පරාරෝපනයෙන් තොර වීඥානවාදයක් මාක්ස්ගේ ග්‍රන්ථ වල සාකච්චා වේ. එහෙත් මෙම පරමාදර්ශය පියවි ලොවේ සාක්ෂාත් කරගත හැකිද යන්න විවේචන මාක්ස්ට එල්ල විය.එහෙත් එම දර්ශනය ආශ්‍රය කර ගනිමින් ප්‍රංශය , එංගලන්තයේ දේශපාලන දර්ශනය සදහාත් රුසියානු විප්ලවය හා චීන මහා විප්ලවය සදහාත් හේතු සාධක විය. විසිවන සියවසදී මහා පරිමාන සමාජ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරිමට හා “නිතිය ඉදිරියේ සමානත්වය “ නමැති ප්‍රධාන සංකල්පයන් වර්ධනය වීමටද බලපාන ලදී.
ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්‍රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය. ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි. ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී. ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්‍රතිගාමී විද්‍යාඥයන් විධ්‍යාවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි. සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධ බන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි.
කාල් මාක්ස් ප්‍රකාශ කරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි. ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි. තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි. ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස් කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි. එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරන බවයි. එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලී ගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණු වෙමින් පවතින රටවල් ලෙසත් පවතින බව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි.
 දාර්ශනිකයන් විසින් මෙතෙක්‌ කර තිබුණේ ලෝකය විස්‌තර කිරීමයි. එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස්‌ කිරීමයි යමක්‌ විස්‌තර කිරීමෙන් පරිබාහිරව යමක්‌ පූර්ණ කාලීන දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වීමට ගත් උත්සාහයක්‌ මාක්‌ස්‌ගේ මෙම ප්‍රකාශයන් තුළින් පැහැදිලි වේ. මාක්‌ස්‌ දාර්ශනික ගතානුගතිකත්වයෙන් ඉවත් වුණි. දර්ශනවාදයෙන් ඔබ්බට වූ මෙම වෙනස මාක්ස් විසින් සිදු කරන ලදී. එම හේතුවෙන් මාක්ස් විසින් ගැටුම් න්‍යාය වර්ධනය කිරීමට ඉහත සිය දර්ශනය උපයෝගී කරගත් බවත් , ප්‍රයෝගික පදනමක සිට ලෝකය දැකීමට නව ඇසක් නිර්මාණය කල බවත් මේ  අනුව් පෙනේ. මෙලෙස ඓතිහාසික භෞතිකවාදය මත විග්‍රහයක යෙදෙන මාක්‌ස්‌ මිනිසාට දැනෙන ප්‍රායෝගික වූ සංකල්පනාවක්‌ මේ තුළ ඇති බව විග්‍රහාත්මකව පෙන්වා දෙමින් එයින් මිදී මිනිසාගේ පොදු මුළු මහත් සමාජයක්‌ සුබ සිද්ධියට පත්කර ගන්නා අයුරු සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද දක්‌වා ඇත . මේ තුළ මාක්‌ස්‌ බලාපොරොත්තු වන ප්‍රධානම සාධකය වන්නේ පොදු මුළු මහත් සමාජයේම සුබ සිද්ධිය සාක්‍ෂාත් කර ගැනීමයි. එනම් සමාජයේ මිනිසා විඳි දුක්‌ඛ  තත්ත්වයෙන් මුදවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සුවිශේෂී වූ දාර්ශනිකයකු බවට පත්වීමට උත්සාහ දැරීමයි. මාක්ස් මේ අනුව සමාජ ක්‍රමය හා සමාජ ව්‍යුහය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කළේය. මාක්ස් දාර්ශනික හෝ ආර්ථික හෝ න්‍යායන් ගොඩ නැගීමට වඩා දර්ශනය ආශ්‍රිතව ආර්ථික න්‍යායන් ගොඩ නැගීමට ගත් උත්සාහය ඉහත කාරනා අනුව සාධනය වේ.
ඉහත සදහන් සියලු සාකච්චා ආශ්‍රයෙන් තෙරුන් ගත හැක්කේ ගැටුම් න්‍යාය වර්ධනය කිරීමට මාක්ස් දක්වන ලද දායකත්වයයි. ඒ වගේම මාක්ස්ට විරුද්ධ මතධාරීන් වූ සංශෝධනවාදීන්  නිසාද මෙම ගැටුම් න්‍යාය වර්ධනය වූ ආකාරය ඉහතදී සකච්චා කරන ලදී. ඒ වගේම ගැටුම් න්‍යාය දියුණු කීරිම සදහා ප්‍රබල මෙහෙවරක් ඉටු කිරීමට මාක්ස්ට න්‍යායාත්මක හැකියාවක්  ලැබුණු බව මේ අනුව පෙනේ.

1 comment: