Sunday, November 19, 2017

හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙහි යහපාලන මුලධර්මයන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබද ද්විතික තොරතුරු ආශ්‍රයෙන් කරන ලද අධ්‍යනය





අතීතයේ සිටම ශ්‍රිලංකාවේ යම් යම් පාලන ක්‍රම පැවතුනී. ඒවා ප්‍රාදේශීය වශයෙන් මිනිස් අවශ්‍යතා මත සාධනය වුවකි. පරිපාලන හා සංවර්ධන කටයුතු මෙම පාලන තන්ත්‍ර විසින්  සිදු කරන ලදී. වර්තමාන සමාජයේ ප්‍රචලිත වෙමින් පවතින අතර  එසේම ලොව පුරා විවිධ දෘෂ්ඨි කෝණයන් ඔස්සේ සංවාදයට භාජනය වන සංකල්පයක් ලෙස යහපාලනය හදුන්වා දිය හැක. ප්‍රජාතන්ත්‍රවාදි රටක යහපාලනය පවතිනුයේ රජය, ‍පෞද්ගලික  අංශය හා සිවිල් සමාජය යන අංශ තුනේම පවතින අන්තර් සම්බන්ධය මතයි.
1990 ගණන් වලදි ජාත්‍යන්තර සංවිධාන විසින් යහපාලනය ගැන අදහස් ඉදිරිපත් කෙරුණු අතර . ලෝක බැංකුව සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙම සංකල්පය ඉදිරිපත් කල ආයතන අතරින් ප්‍රමඛතාවය ගනි. ඔනැම රටක රජය සතු දැක්මක් ඇති අතර මෙම දැක්ම මත සකස් වු උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරිමෙන් සංවර්ධන ඉලක්ක කරා ලඟා විය හැකිය . මෙහිදී යහපාලනය යනු රජයකට අයත් සංකල්පයක් නොව රටක ක්‍රියාත්මක වන සෑම ආයතනයක් කෙරෙහිම බලපානු ලබන පොදු හා ප්‍රජාතන්ත්‍රීය සංකල්පයක් වේ. සංවිධානයේ විවිධ අංශ හා පුද්ගලයින් අතර බල තුලනයක් ඇති කරමින් යහපාලනය ක්‍රියාත්මක වේ. ආයතනයේ මෙහෙවරෙහි සඳහන් අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් ඵලදායිව යෙදවීමේ වැදගත් කාර්ය භාරයක් ආයතනයේ කාර්ය සාධන  ව්‍යුහය විසින් ඉටුකරයි. මේ ආකාරයට තීරණ ගැනීමේ හා තීරණ ක්‍රියාත්මක කිරීමේ , නොකිරීමේ ක්‍රියාවලිය යහපාලන දෘෂ්ඨිය තුල ඇත.
හම්බන්තොට ගොඩවාය ප‍්‍රදේශයේ වරායක් තිබූ බව ඓතිහාසික ”ගොඩවාය සෙල්ලිපියෙන්” සනාථ වේ. එදා එය ජාත්‍යන්තර වරායක් ලෙස භාවිතා කරමින් . රේගු බදු පවා  අයකර ඇති බව මුලාශ්‍ර වල සදහන් වේ. එම බද්දෙන් කොටසක් අසල විහාරස්ථානයක නඩත්තුව සඳහා යොදන මෙන් එදා රාජ ආඥාවක්ද  නිකුත් කර තිබුණි. මේ නිසා හම්බන්තොට ප‍්‍රදේශය ඓතිහාසිකවම වරායකට සුදුසුකම් සහිත භුමියක් ලෙස තිබු බැව් පැහැදිලි වේ. මෑත යුගයේදීත්  නිදහසට පෙර හා පසුව, හම්බන්තොට වරායක් ඉදිකළ යුතුය යන කථිකාව විටින් විට අපේ රටේ දේශපාලඥයන් අතර පැවතුනි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කළ හම්බන්තොට දේශපාලනඥයින් විසින් පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ මත පළකරමින් ව්‍යවස්ථා සම්මත කර හම්බන්තොට වරාය ව්‍යාපෘතිය යෝජනා කර  තිබුණි.
එහිදී, හම්බන්තොට ශ්‍රීලංකා  ආර්ථිකයට එක් වූ සම්පතක් ලෙස අර්ථකථනය කරමින් හම්බන්තොට වරායේ භූ විෂමතාවන් සැලකිල්ලට ගන්නා ලදී. ලෝකයේ විශාලතම නැව් වලට පැමිණිය හැකි වරාය ඇත්තේ ලංකාව තුල  අතළොස්සකි. හම්බන්තොට ආසියාවේ ඇති වරාය වලින් එකකි. මුළු ආසියාවටම ඇත්තේද ඉන් කීපයකි. ජාත්‍යන්තර නැව් මාර්ගය ගොඩබිමට ආසන්නයෙන්ම ගමන් කරන්නේ හම්බන්තොට අසලිනි. එම ගැඹුරු මුහුදු පත්ල වරායක් නිර්මාණය කිරීම සදහා උචිත සැකස්මකි . මෙහි ඇති විශේෂත්වය නම් වෙනත් වරායන් මෙන් නොව හම්බන්තොට වරාය මගින්  අති විශාල සමුද්‍ර ප්‍රමාණයක් ආවරණය වීම හා ලෝකයේ වෙළද නැව් මේ හරහා ගමන් කිරීමයි.
පාර්ලිමේන්තුව තුල අනුමත කරගත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීන සමාගමක් සමග ණය ගිවිසුම්ක්  අත්සන් කිරීමෙන් අනතුරුව කටයුතු ආරම්භ කරණ ලදී.  සංවර්ධනයේ දී ශ්‍රීලංකාව සතු ප‍්‍රාග්ධනය හිඟකමේ අර්බුදය හේතුවෙන් චීන රජයේ මැදිහත්වීම මේ අනුව සිදුවිය . හම්බන්තොට වරාය රු. බිලියන 193.8ක ආයෝජනයකි. හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙහි  වැඩ අරඹනු ලැබුවේ 2008 ජනවාරි මස තුළදීය. 2010 නොවැම්බර් මස 18 වන දින විවෘත කළ මෙහි නැංගුරම් පළවල් 3 ක් සදහා සැලසුම් සකස් කර ඇත  . මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ. මෙහි ප්‍රථම අදියරේ ආයෝජනය ඇ.ඩෝ. මිලියන 361 වන අතර ඉන් 85% සැපයුනේ චීනයේ එක්-ඊම් බැංකුව මගිනි .
මේ අනුව හම්බන්තොට වරාය හරහා සිදුවන ආනයනයන් ලෙස ඉන්ධන , රථවාහන , තිරිගු ඇතුළු ධාන්‍ය  වර්ග සැලසුම් කර ඇත. අතීතයේ සිට වරාය සහ නාවික විෂයේදී ලැබූ අත්දැකීම් මුල් කරගෙන එකී අත්දැකීම් රටේ සංවර්ධනයට සහ අභිවෘර්ධියට නිර්මාණාත්මක ලෙස ආයෝජනය කරමින් වරාය සහ නාවික ක්ෂේත්‍රයේ මානව සම්පත සවිබල ගැන්වීම, නව රැකියා උත්පාදනය වන සේ වරාය සහ නාවික ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම මෙතෙක් ප්‍රයෝජනයට නොගත් සමුද්‍රීය සම්පත් නව ආයෝජන සඳහා කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින්  ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික පද්ධතිය සාම්ප්‍රදායික ලෙස භාණ්ඩ අපනයනයට හෝ ආනයනයට හෝ මුහුදු ගමන්වලට සීමා නොවී ලෝක ආර්ථිකයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදී .
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ භාරකාරත්වය වරාය අධිකාරිය වෙත පවරමින්  පහත දැක්වෙන සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සැලසුම් සකස් කරන ලදී.
01. 2020 වර්ෂයට වන විට ලෝකයේ බහළුම් මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් වඩාත් ඵලදායි වන ලෙස ආර්ථික සංවර්ධනයට දායක වීම.
02. වරාය සහ නාවික අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සිදුවෙමින් පැවැති දුෂණය සහ නාස්තිය පිටු දැකීම.
03. නව ප්‍රවණාවන්ට අනුව වරාය හා නාවික ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩි දියුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
මේ අනුව හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භ වූ 2010 වසර සිට 2017 ජුලි මස චීන CM Port ගිවිසුම දක්වා  දක්වා, ආණ්ඩු දෙකක් යටතේ හම්බන්තොට වරාය  ව්‍යාපෘතියහි යහපාලනය ක්‍රියාත්මක වූ ආකාරය මෙම ලිපියෙන්  සාකච්චා කෙරේ. 
ලෝක බැංකුව වඩාත් අවධානය යොමුකර ඇත්තේ ආර්ථික සහ සමාජ සම්පත් හැසිරවීම වෙතයි. රටක පාලන විධියේ ස්‍වභාවයට බලපානු ඇතැයි ලෝක බැංකුවට හැඟෙන අංශ තුනක් ක්‍රි.ව. 1992 දී අවධාරණය කෙරිනි
  1. දේශපාලන රෙජීමයේ ආකාරය
  2. සංවර්ධනය පිලිබඳ දෘෂ්ඨියකින් යුතුව අධිකාරිය මගින් ආර්ථික සහ සමාජ සම්පත් කලමනාකරණය සිදුකරන්නාවූ ක්‍රියාවලිය
  3. ප්‍රතිපත්ති සම්පාදනය සහ සහ ඒවා ප්‍රථිපලදායී ලෙස ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවකට ඇති හැකියාව.
එක්සත් ජාතීන් මානව සංවර්ධනය සහ දේශපාලන ආයතන ප්‍රතිසංස්කරණය හරහා මෙම ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම අවධාරණය කරයි . එක්සත් ජාතීන්ට අනුව, යහ පාලනය ලක්‍ෂණ අටකින් සමන්විතවේ. ( Good governance ) යහපාලන මූලධර්ම මත ව්‍යාපෘති නියාමනය වන්නේ නම් එය තිරසාර සංවර්ධනය කරා යන ගමනකි. පරිසර ආර්ථික විද්‍යාවේ එන මූලිකතම තර්කය වන්නේ අද යමෙක් ජීවත්ව සිටියදී විදින පාරිසරික බුක්තිය විසින් අනාගත පරම්පරාවට අහිතකර බලපෑම් ඇති වීමයි. යහපාලන මුලධර්ම මත කටයුතු කිරීමෙන් මෙම තත්වය සමනය කල හැක.
ව්‍යාපෘතිවලින් අවතැන්වන අයවලූන්ට සාධාරණ වන්දියක් ලබාදීම සඳහා ජාත්‍යන්තරව යොදා ගනු ලබන නිර්ණායක බොහෝය.  ස්වේචා  නොවන සියලූ අවතැන්වීම් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රබල මූලධර්මයක් වන්නේ එසේ ව්‍යාපෘතියක් නොතිබුණ විට තිබූ ජීවන මට්ටමට අගලක් හෝ ඉදිරියෙන් තැබීමට හැකි සාධාරණ වන්දියක් ගෙවීමයි. දෙවන මූලධර්මය වන්නේ ඇතිවිය හැකි මානසික ආතතියට මූල්‍යමය වශයෙන් යම් අගයක් එකතු කර ගෙවීමයි. තෙවත මූලධර්මය වන්නේ වානිජ වටිනාකමක් ඇති සියලූ බව බෝගවල අහිමිවන අස්වැන්න වෙනුවෙන් පාරිතෝෂිකයක් ලබාදීමයි. එබැවින් කළ යුතුව ඇත්තේ පවතින මිලට අමතරව අනාගතයේ යම් නිශ්චිත කාල පරාසයක් තුල පිහිටා ඉලක්ක අගයක් ලබා ගැනීමයි.
ව්‍යාපෘති ප‍්‍රවර්ධනය, සුභසිද්ධිය, නියාමනය හා රාජ්‍ය මැදිහත්වීම සදහා පනතකින් හෝ යම් ව්‍යවස්ථාවකින් සම්මත කරගත් නිශ්චිත බලාධිකාරයක් ස්ථාපිත කල යුතුය. එමගින් උපදේශන සභාවක්, සංවර්ධන අධිකාරියක් හා සංවර්ධන අරමුදලක් පිහිටුවනු ඇත. එයට  අනුව යෝජිත උපදේශන සභාව ව්‍යාපෘතියේ හවුල්කරුවන්ට අනාගතයට වැදගත් වූ  උපක‍්‍රමික දිශාව හදුන්වා දිය යුතුයි. එය ක‍්‍රියාත්මක කිරීමේ යාන්ත‍්‍රනය සකස් කිරීම පාලනයට භාරවෙයි. එම බල අධිකාරයේ  ඇති මූලිකම ලක්‍ෂණය විය යුත්තේ නීතිමය එකගතාවයක් මගින්  ව්‍යපෘතියහි   සැපයුම් ජාලය මුළුමනින්ම ආවරණය කිරීමයි. උපදේශන සභාවක් හා අධිකාරී කළමනාකරන මණ්ඩලයක් ස්ථාපිත කරවීම සිදුකිරීමෙන්  ව්‍යාපෘතිය නීතිමය අධිකාරයක් බවට පත්වේ.
ව්‍යාපෘතියක් තුල දැකිය හැකි යහපාලන මුලධර්ම පහත ආකාරයෙන් විග්‍රහ කල හැක.
·         (Consensus Oriented) ප්‍රජාතන්තවාදී සමාජයක දක්නට ලැබෙන මුල ධර්මයක් ලෙස සම්මුතිශිලිභාවය හැදින්විය හැක. මෙයින් කියවෙන්නේ සාකච්චාවෙන් ගැටළු විසදාගත යුතු බවයි. උපාය මාර්ගික දැක්මක් සෑම පුද්ගලයකුටම ඇත. ව්‍යාපෘතියක සාමුහික ක්‍රියාකාරිත්වය තුළින්  අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමට අවස්ථාවක් වේ .
·         (Responsiveness ) අනුකුලත්වය සහ ප්‍රතිචාරාත්මක බව යනු ව්‍යාපෘතියක් ගත්කල පැහැදිලි ඉලක්ක නීති රීති ඔස්සේ කටයුතු කරමින් තම සේවාව සාධාරණ කාලයක් තුල ලබා දිය යුතුය පොදු ජනතවගේ අපේක්ෂාවන් ඉටු කල යුතුය. ඊට අනුකුලව මහජනතාවගේ   හැඩගැසීම දෙවනුව සිදුවේ. එසේ නොවන්නේ නම් කළමනාකාරිත්වයට   බාධා පැමිණෙනු ඇත.
·         (accountable) වගවීම යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපෘතියට සම්බන්ධතාවයක් ඇති සෑම පුද්ගලයෙකුට පැවරුනු වගකීම නිසි ආකාරයට සිදු නොකර සිටින විට ඒ පිලිබඳ වග උත්තර කීම,  වගවීමයි.
·         (Tranceperancy ) රටක් හෝ යම් සංවිධානයක් පුද්ගලයෙක් කරන ක්‍රියාවන් විනිවිද භාවයකින් යුක්ත විය යුතුය. උදාහරණ ලෙස වාර්ෂික අයවැය, ඇස්තමේන්තු සකස් කිරීම, සැලසුම් වලට අනුකුලව වැය දැරීම, ගනු දෙනු පිළිබද කාලීන වාර්තා සකස් කිරීම තුලින් විනිවිද භාවයක් ඇතිවිය හැකිය. විනිවිදභාවය යන්නෙන් අදහස් වන්නේ කිසියම් ආයතනයක් ක්‍රියාත්මක වන ආකාරය අන් අයට දන ගන්නට සැලස්විමයි. එම වාර්තා ජනතාවට විවෘත විය යුතුය.
  • ( Equitable and Inclusive) සමානාත්මතාවය සහ අන්තර්කරණය යනු රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා විධි විධාන සලස්වනු ලැබේ. ජාති, ආගම්, කුල, ස්ත්‍රී පුරුෂ, ළමා ආදී ලෙස වර්ගයාට වෙනසක් නොකිරීමට කටයුතු කිරීමහා සියලු දෙනාම සමානයන් ලෙස සැලකීමයි .
·         (Rule of Law ) නීතියේ ආදිපත්‍ය යනු සියලු දෙනාටම එක සේ නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි. සියළුම  දෙනා සමානයන් වේ. ඒකාධිපති පාලන ස්වභාවයන්හිදී එම පාලන ක්‍රමය යටපත් කිරීමද නීතියට අනුව හැකියාව ලැබේ. මෙමගින් මානව හිමිකම්, මුලික අයිතීන් රැකදීම සිදු වේ.
·          (Participatory) යම් ව්‍යාපෘතියක සාමාජිකත්වය උසුලන සාමාජිකයකුට තමන්ට බලපාන්නාවූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලදී සහභාගීත්වය ද වැදගත්වේ. පොදු සම්මුතියකට එළඹීම යනු, ඔනෑම පොදු සහභාගීත්වයක් අනුව කටයුතු කර එක් සම්මුතියකට එළඹීමයි. පොදු සම්මුතිය ගැටුම්  අවම කරන සමඟිය, සමාදානය උපරිම කරන සාධකයක් වේ. සාකච්චාව මෙහිදී වැදගත් වේ. විවිධ කණ්ඩායම් වල අදහස් සැලකිල්ලට ගත යුතු වේ.
  • ඵලදායිතාවය සහ කාර්යක්‍ෂමභාවය  ( Effective and Efficient) මෙහිදී සම්පත් උපරිමව හසුරුවා ගනිමින් ඵලදායිතාව හා කාර්යක්‍ෂමතාව වැඩිකරගත යුතු වේ. මෙහිදී පාරිසරික සුරක්ෂිතතාව හා ස්වභාවික සම්පත් භාවිතයේදී ඒවායේ තිරසාරභාවය පිළිබද සැලකිලිමත් වීම මෙහිදී බලාපොරොත්තු වේ. 
2010 වර්ෂයේදී හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. වරාය  ව්‍යාපෘතියේ එදිනෙදා සිදුකරන කටයුතු මෙහෙයවීම සදහා කමිටුවක් පත්කෙරින . එම කමිටුව සදහා වරාය අධිකාරියේ නිලධාරියෙක් කැඳවුම්කරු ලෙසත්. ඊට අමතරව  ආරක්ෂක අමාත්‍යාංශය, නාවික හමුදාව සහ පොලිසියත් මෙම කමිටුවේ සාමාජිකයින් වන අතර  වරාය තුල සේවය කරන සාමාන්‍ය සේවක සේවිකාවන් ශ්‍රීලාංකික පුරවැසියන්ගෙන් බදවා ගන්නා ලදී. සියළු ආරක්ෂක කටයුතු පාලනය ගිවිසුමට අනුව   රජය  සතු වේ. එහෙත් පුහුණු ශ්‍රමිකයන් චීන ජාතිකයන්  ගෙන් බදවා ගන්නා ලදී.
 වරාය  ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග  ගැටළු පැන නගින්නට විය. ආරම්භක උත්සවය සංවිධානය පිලිබදව විවිධ මත පල විය. වරායේ පළමු අදියරේ කරදිය මංගල්‍ය සහ වරාය විවෘත කිරීමේ උත්සවයට රුපියල් මිලියන 113කට වඩා වැඩි මුදලක් වැය කර තිබේ යයි ජනතාව වෙත හෙළි දරව් වීමෙන් ලබාගත් ණය මුදල් අවභාවිතා වන ආකාරය අනාවරණය විය. මේ පිළිබද නිශ්චිත ගිණුමද දක්නට නැත. විනිවිදභාවයකින් තොරව කටයුතු කර ඇති බව දක්නට විය.
මෙම  වරාය සදහා  යුද නැව් ඒමට නියමිත වන අතර . හම්බන්තොට වරායට යුද නැව් පැමිණෙද්දී ඒ නැව අයිති රජය , ශ්‍රීලංකා රජයෙන් අවසර ගත යුතුයි. රාජ්‍ය ආරක්ෂක අංශ ඒ යුධ  නැව් සඳහා අවසර දෙන අතර කෙසේ නමුත් පැමිණීමට අපේක්ෂිත නැව් පැමිණියේ නැත. එබැවින් අපේක්ෂිත අදායම් නොලැබිණි. ඊට අමතරව වරාය ව්‍යාපෘතියේ අදායම් වියදම් වලට අනුව
·         2015 ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා වූ කාලයේදී හම්බන්තොට වරායේ මෙහයුම් වියදම රුපියල් මිලියන දෙදාස් පන්සිය අනූහතකි. එම මෙහෙයුම් වියදමට අමතරව ණය මුදල් සහ පොළී වෙනුවෙන් එකී කාලයේදී තවත් රුපියල් මිලියන අටදාස් හාරසීය අසූදෙකක් හම්බන්තොට වරාය සදහා චීනයට ගෙවා ඇත.
·         2015 ජනවාරි සිට ඔක්තෝම්බර් 31වැනිදා දක්වා හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන එකොලොස් දහස් හැත්තෑ නවයක් වේ.
·         හම්බන්තොට වරායෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන එක්දාස් හත්සිය තිහක් පමණකි. එනම් රුපියල් බිලියන එකයි  දශම හතක් පමණකි.
·         2015 ජනවාරි මාසයේ සිට ඔක්තොම්බර් මාසය දක්වා හම්බන්තොට වරාය පවත්වා ගෙන යාමට කොළඹ වරායෙන් ලබා දී ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන නවදාස් තුන්සිය හතලිස් නවයකි. එනම් , බිලියන නමයයි  දශම තුනකි. 
·         හම්බන්තොට වරාය සඳහා ලබා ගන්නා සම්පූර්ණ ණය මුදල, සැප්තැම්බර් 30 දාට පැවති විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන එකසිය අනු දෙකක් විය .
මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ගෙවා දැමීම සඳහා වූ ව්‍යාපාරික සැලැස්මක් වරාය ව්‍යාපෘතිය තුල දක්වා තිබුනේ නැත. උපාය මාර්ගික දැක්මක්ද නොමැති විය.  මේම  ණය මුදල් පසුගිය ආණ්ඩුව විසින් ලබා ගෙන තිබෙන්නේ දේශීය හා විදේශීය බැංකුවලින් වැඩි පොළියට වන අතර , මෙම ණය ගැනීමේදී  ඇති කර ගත් ගිවිසුම් ශ්‍රීලංකාවට වාසිදායක නොවේ. මේලෙස  ලබා ගත් ණය ඵලදායි ලෙස ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ බවක්ද දක්නට නැත. හොඳම උදාහරණය ලෙස පෙන්වාදිය හැක්කේ  හම්බන්තොට වරායේ සවිකර ඇති  ක්‍රේන් වලින් හම්බන්තොට වරායට ප්‍රයෝජනක් වී නොමැති ආකාරයයි. මේ දක්වා වරාය තුල එම ක්‍රේන් ක්‍රියාත්මක කර ඇත්තේ එක්වරක් පමණි. අවම වශයෙන් එම ක්‍රේන් වෙනත් වරායක භාවිතයට ගැනීමේ හැකියාවක්ද  නැත. එම ක්‍රේන්වල තාක්ෂණික තත්ත්වයන් පොදු මට්ටමක නොතබීමෙනි. උපකරණ මිලදී ගැනීමේදී උපදේශණ මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් විමසීමෙන් තොරව ආණ්ඩුව විසින් ගන්න ලද තීරණ වලට අනුව මෙම මිලදී ගැනීම් සිදු කර තිබිණ. මෙහිදී සම්පත් උපරිමව හසුරුවා නොගැනීමත්  ඵලදායිතාව හා කාර්යක්‍ෂමතාව සිදු නොවීමත් දක්නට ලැබිණ.
හම්බන්තොට වරායේ සිදු වූ තවත් මහා පරිමාණ අක්‍රමිකතාවක් වන්නේ නැව්වලට තෙල් සැපයීම හෙවත් ඔයිල් බන්කරින්. නෞකා වලට ඉන්ධන සැපයීමයි. මෙය වර්තමාන නාවික වෙළදාමේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වුවත් හම්බන්තොට ව්‍යාපෘතියේදී  එවැනි ආදයමක් හෝ ලාභයක් නොලැබීය. එයට හේතු වුයේ, වැඩිම ඉල්ලූමක් ඇති I F O - 380  නැමති ඉන්ධනය නෞකාවල ඉන්ජිං ක්‍රියා කරවීම සඳහා යෙදා ගන්නා ඉන්ධන වන අතර හම්බන්තොට වරාය සදහා වැඩියෙන් මිලදී ගෙන ඇත්තේ වෙළඳ පොළේ අඩුම ඉල්ලූමක් ඇති Marine Gas Oil වේ.  එහි ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් 17,818 ක් වේ. මෙයින් හම්බන්තොට වරායට අලෙවි කිරීමට හැකි වී තිබෙන්නෙත් මෙක්ට්‍රික් ටොන් 3, 235ක් වැනි සුළු ප්‍රමාණකි. එයට අනුව තවත් මෙක්ට්‍රික් ටොන් 14,583ක් ඉතිරිව ඇත. මෙවැනි නිෂ්ප්‍රයෝජන මිලදී ගැනීම් සිදු කල ආකාරය  කෙරෙහි ජනතාව වෙත කුකුසක් ඇත. ඵලදායි ලෙස මුදල් ආයෝජනයක් සිදු කර නොමැති බැවින් මෙම ගනුදෙනුවෙන් පාඩු ලැබූ අතර , ඉන්පසු වගකිමටද පරිපාලනය අපොහසත්ව  රජයේ තීරණ බැව් ජනතාව වෙත දන්වමින් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී.
පසුගිය ආණ්ඩු සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කරන ලද  දුර්වල මට්ටමක තිබු තෙල් නැවක් . හම්බන්තොට වරාය සදහා  විශාල මුදලක් ගෙවා මිලදී ගෙන ඇත. එහෙත් ඉන්ධන මිලදී ගත් මුදලින් තුනෙන් එකක වටිනාකමකටවත් එම තෙල් හම්බන්තොට වරාය මගින් විකුණාගත නොහැකි විය. අනෙක් කරුණ, වුයේ   මෙම  තෙල් මිලදී ගෙන ඇත්තේ ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළගිය  අවස්ථාවකදිය. මෙම ගනුදෙනුව සිදු කල ආකාරය හා වගකිව යුත්තන් මේ වන විට නිහඩව සිටි.
 මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය මහා පරිමාණ ව්‍යාපෘති සියල්ලම ඉදි කළේ හම්බන්තොට  වරාය කේන්ද්‍ර කරගනිමින් එක්තරා සැලැස්මකට අනුවයි. හම්බන්තොට  වරායේ කටයුතු වේගවත් කිරීමට ඒ අසළම අන්තර්ජාතික ගුවන්තොටුපොළක් සෑදිම, මාගම්පුර සිට මත්තල ගුවන්තොටුපොළ , අධිවේගී මාර්ගයකින් සහ දුම්රිය මාර්ගයකින් සම්බන්ධ කිරීම. එම අධිවේගී මාර්ගය කොළඹ හරහා කටුනායක ගුවන් තොටුපොළට සම්බන්ධ කිරීම. මාගම්පුර වරාය කේන්ද්‍ර කරගනිමින් බිහි වෙන ශ්‍රී ලංකාවේ දකුණු ඉන්දීය සාගර සමුද්‍ර ආරක්ෂණ ආධිපත්‍යය සඳහා මුහුදු සීමාවෙන් ඔබ්බටත් ගොස් මෙහෙයුම් කළ හැකි ආකරයට ශ්‍රී ලංකා නැව් සමාගමකට සාගරයේ කටයුතු සඳහා අවස්ථාව ලබාදීම . වෘත්තීමය ශ්‍රම පරපුරක් බිහි කිරීමට තංගල්ල ප්‍රදේශයේ සාගර විශ්ව විද්‍යාලය ඇරඹීම වැනි  බහුවිධ සැලසුමක් හම්බන්තොට වරාය කේන්ද්‍ර කොට ගෙන නිර්මාණය  කරන ලදී.
මෙහිදී වරාය ව්‍යාපෘතිය මුල් කරගත් බාහිර  ව්‍යපෘති හේතුවෙන් වරාය  ව්‍යාපෘතිය සදහා ආයෝජනය කරන්නට ලබා ගත්  මුදල්, ව්‍යාපෘතියට අදාල නොවන සේ , අනෙක් ව්‍යාපෘති සදහා යෙදවීමට පරිපාලනය කටයුතු කරන ලදී. ආයෝජන  මුදල් අවභාවිතා වන සැටි ප්‍රසිද්ධියේම දක්නට ලැබුණි. මෙම වියදම් සිදු කලේ පොදු එකගතාවයක්  නොමැතිව අදාල ගිවිසුම් වලට පිටින් වේ.  
නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් හම්බන්තොට  වරාය වැදගත් වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට යෝජිතව තිබුණි. ඒ යටතේ ක්‍රියාත්මක වෙමින් මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව සටන් කිරීම ඇතුළු හදිසි අවශ්‍යතා වලදී මහ මුහුදේ නැව් වලට උපකාර කරන විශේෂ අංශයක් පෞද්ගලික නැව් සමගමක් හා  නාවික හමුදාව ඒකාබද්ධව හම්බන්තොට වරායේ නාවික කටයුතු පාලනය කිරීමයි .  ජාත්‍යන්තර නීති අනුව තම රටේ මුහුදු සීමාවෙන් පිට යුධමය කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අවසර නොමැති නිසා, එම නැව් සමාගම යටතේ හිටපු නාවික හමුදාපතිවරුන්ගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක ඇවන්ගාඩ් සමාගම ඒ සඳහා යොදවා තිබුණි. මෙම සමාගම යෙදවීම හේතුවෙන් නාවික හමුදාවට ලැබිය යුතු අවස්ථාත් අහිමි වීමෙන් රජයට ලැබිය යුතු අදායම් නොලබා, පෞද්ගලික සමාගමක් වෙත එම මුදල් ගෙවා ඇත්තේ  ආණ්ඩුවේ බලපෑම මත බව පෙනේ.  තවද  ශ්‍රීලංකා රාජ්‍ය නැව් සමාගමක් යයි කියාගත් රක්නා ලංකා සමාගම මගින්ද  මෙම කටයුතු සිදු කර ඇත. මේ නිසා ජනතාව තුල අසහනකාරී තත්වයන් මතුවිය . එම නිසා මෙම නැව් සමාගමේ නිත්‍යානුකුල තත්වයන් පිළිබද ප්‍රශ්නකාරී භාවයක් රට තුල මතුව, නීතිමය මත භේදයන්ට ලක්වන්නට සිදුවිය. තවද ඒවා තුල ගැබ්ව තිබුනේ  පැවතී රජයේ දේශපාලන බල අධිකාරයට අවනතව  ක්‍රියාත්මක වීමයි.
වරාය ව්‍යාපෘතියේ ණය බර දැරීමට අපොහොසත් වූ වර්තමාන රජය හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සමාගමක් වූ CM Port සම්බන්ධ කර ගැනීමෙන් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ගිවිසුමට (ජුලි 29) කොළඹ දී අත්සන් තැබිණි. ශ්‍රීලංකා රජය සහ චීනයේ 'චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස්' සමාගම එම ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවන්ය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය යටපත් වන බැවින් අදාළ ගිවිසුමට විරුද්ධව ජනතාව නැවතත් පෙළ ගැසෙන්නට වුයේ .  හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට' යයි දක්වමින් රටක ජනතාව සතු අයිතීන් සම්බන්ධව , පවතින රජය වෙත දැනුම්දෙමින් , මූලෝපායික වශයෙන් වැදගත් වරායක පාලනය ශ්‍රී ලංකා රජයෙන් ගිලිහෙන මේ ගිවිසුම නිසාය.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය නිසා ධරණිය සංවර්ධනයට බාධා පමුණුවන ලද්දේ යයි. ජන මත බිහි වන්නට විය . පරිසර නීති උල්ලංඝනය වෙමින් හා යම් යම් සත්ව කොට්ඨාශයන්ට හානි පැමිණ වීමක්ද මෙමගින් සිදු වුනි. තවද ජන සතු ඉඩම් මෙම ව්‍යාපෘතියට අත්පත් වුයේ නියමිත වටිනාකමටත් අඩුවෙනි . තම ජිවන ඉලක්ක ඇද වැටෙන තත්වයකට ප්‍රදේශයේ බහුතර ජනතාව පත් වීමද මෙම සංවර්ධනය තුල දක්නට ලැබුණි. මෙහිදී පාරිසරික සුරක්ෂිතතාව හා ස්වභාවික සම්පත් භාවිතයේදී ඒවායේ තිරසාරභාවය පිළිබද සැලකිලිමත් වීම මෙහිදී බලාපොරොත්තු වේ.
 පසුගිය ආණ්ඩු සමයේ වරාය රැකියා සදහා දේශපාලන අවශ්‍යතා මත රැකියා ඇති කරන ස්ථානයක් බවට පත් විය. වත්මන් ආණ්ඩුව ව්‍යාපෘතියේ ආදායම් වියදම්  පරික්ෂා කරණ ලදී. මෙහිදී වැය බරක් වූ අතිරේක සේවකයන් ඉවත් කිරීමේදී මතු වූ උද්ගෝෂණ තුලින් එම තත්වය විද්‍යමාන විය. මේ අනුව අනවශ්‍ය සේවක පිරිවැයක් වරාය සදහා ලබාගත් ණය මුදලින් ගෙවා ඇති බව හෙළි විය.


සමාලෝචනය  
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2010 වර්ෂයේ ආරම්භ වී තවමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන අතර  පැවති ආණ්ඩුව මගින් නියාමනය කරන ලද ව්‍යාපෘතියකි. එහෙත් 2015 වර්ෂයේ නව රජය ප්‍රකාශයට පත්වූ පසු වරාය  පිළිබද කරනු ලබන අධීක්ෂණයෙදී  හෙළි වූ ආර්ථික පාඩු හේතුවෙන් ව්‍යාපෘති කොන්දේසි වෙනස් කරමින් නව ප්‍රතිපත්ති සැලසුම් කරන ලදී. ඒ අනුව වරාය ව්‍යාපෘතියේ වසර පහක කාලය තුල යහපාලන මුලධර්ම ක්‍රියාත්මක වූවාද යන්න සොයා බැලීමේදී පාඩු ලබන  ව්‍යාපෘතියක් ලෙස නම් කරන ලදී.
යහපලනයේදී පාලන විධි යන සීමාවන් තුල  පැහැදිලි සහ හොඳින් අර්ථ දක්වා ඇති පරාසයක් නොමැති බැවින් තමන්ට කැමති පරිදි පරාමිතියන් තෝරාගැනීමට ඉඩලැබී ඇත. මේ අනුව යහපාලන මුලධර්ම නිසි ලෙස නිර්වචනය නොකිරීම තුල විහිදෙන පරාසයහි සීමාව නොපෙන්විමෙන් ඉන් ඔබ්බට යාමේ හැකියාව තුල වරාය  ව්‍යාපෘතියේ පාලනාධිකාරය  සිමා විරහිත ලෙස ඇතැම් කටයුතු අත්තනෝමතික ලෙස සිදු කර ඇත. එම හේතුවෙන් වරාය ව්‍යාපෘතිය පාඩු ලබන්නට  ඇතැයිද සිතිය හැක.
තීරණ ගැනීමේදී යහපාලන විධි සංකල්ප,  එක් ආණ්ඩුවක්   විශ්වාස කලද තවත් ආණ්ඩුවක් පත්වීමේදී එම සංකල්ප හා පාලන විධි බැහැර කිරීමෙන් වරාය ව්‍යාපෘතියේ දිශානතිය වෙනස් වී ඇත. තවද යහපාලන විධි බටහිරකරණයේ උවමනාකම් මත සකස් වී ඇති නිසා ධනවාදී ඉලක්ක නිර්මාණය වෙමින් දුෂණය හා වංචාව කාලීනව පරිපාලනයට එකතු වී ඇත. මේ හේතුවද වරාය ව්‍යාපෘතිය පාඩු ලැබීමට බලපාන ලද්දකි.  
ආණ්ඩු දෙකක් තුල වරාය  ව්‍යාපෘතිය ක්‍රියාත්මක උනි.  මේ අනුව පළමු ආණ්ඩුව විසින් දෙවන ආණ්ඩුවට අභියෝග කරන ලද්දේ , ඔවුන් විසින් සැලසුම් කරන ලද ආර්ථික ක්‍රියාවන් දෙවන ආණ්ඩුව විසින්  අවුල් කරමින් ඉටු නොකල බවයි. දෙවන ආණ්ඩුව ප්‍රකාශ කලේ යහපාලනයක් පළමු ආණ්ඩුවේදී වරාය ව්‍යාපෘතිය තුල නොතිබූ බවයි. ජනතාවට අනුව, ආණ්ඩු දෙක තුලම යහපාලනය නොතිබූ බව හෙළි විය.  
වරාය  ව්‍යාපෘතිය හරහා සිදු වූ ප්‍රාදේශීය සංවර්ධනය හම්බන්තොට ප්‍රදේශයට අලංකාරයක් එක් කරන ලදී. රටේ සිටි ව්‍යාපාරික ප්‍රජාව වෙත ඉහල අදායම් තත්වයන් උත්පාදනය කරමින් නව ධනපති පන්තියක් බිහි වන්නට විය . ඔවුන් පැවති රජයේ දේශපාලන ආධාර කරුවන් වීම , කැපී පෙනෙන ලක්ෂණය විය.
මේ අනුව වරාය  ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම දේශපාලනියකරණය වූ ආයතනයක්  බවට පත්විය. වරාය අධිකාරියේ සභාපති ලෙස පත්කළ තැනැත්තා පැවතී ආණ්ඩුවේ හිතවතකු වූ බැවින් ව්‍යපෘති සැලසුම් පසෙක  තිබියදී  සංවර්ධන ඉලක්ක වෙනුවට ආණ්ඩුවේ සිටියවුන්ගෙන් කිහිප දෙනකුගේ තීරණ පමණක් ක්‍රියාත්මක කරමින් වරාය ව්‍යාපෘතිය අත්තනෝමතික ලෙස පාලනය කල බව, මේ අනුව පැහැදිලි විය. මේ අනුව හම්බන්තොට වරාය  ව්‍යාපෘතිය  යහපාලනයෙන් තොරව  ඉබාගතේ ක්‍රියාත්මක වූ  පාඩු ලැබූ ව්‍යාපෘතියක් බවට පත් වීම හේතුවෙන්  චීන රජය වෙත බාර දෙන ලදී.

ආශ්‍රිත ලේඛන
1.      හම්බන්තොට වරාය අනුග්‍රාහක  ගිවිසුම ( සිංහල පරිවර්තනය )
2.      උපාලි පන්නිලගේ , ශ්‍රිලංකාවේ පළාත් පාලනය තුල යහපාලනය ශක්තිමත් කිරීම,
  ප්‍රතිමාන අංක 08,  2013 පෙබරවාරි කලාපය,

වෙබ් අඩවි
1.       www.grounds.lk   Yahapalanaya in Sri Lanka: Remains of the Day - ජයදේව උයන්ගොඩ
2.      http://www.vikalpa.org
4.      http://www.lankadeepa.lk - වසන්ත ප‍්‍රිය රාමනායක -2017.08.03.
5.      www.portmin.gov.lk 2017.08.15.

Monday, October 23, 2017

ගැටුම්වාදී න්‍යාය වර්ධනයෙහි “ කාල් මාක්ස් “ ගේ න්‍යායික දායකත්වය




ගැටුම්වාදී න්‍යාය මුලින් හදුනාගෙන ඇත්තේ එවකට පැවති බටහිර සංකල්ප මුල් කරගෙනය . යුරෝපයේ ඇති වුන විද්‍යා පුනරුධය හා සමාජ විප්ලවයන්හි ප්‍රතිපලයක් ලෙස හේගල්වාදී වූ මාක්ස්ගේ මැදිහත්වීම නව සමාජ සංස්කෘතියක් කරා වර්ධනය වීමට මාක්ස්වාදය  බලපාන ලදී. හේගල්ගේ අපෝහකවාදය තව දුරටත් අධ්‍යනය කිරීමට සහ එම දර්ශනය පුළුල් ලෙස සංවර්ධනය කරමින් , හේගල් මුලධර්ම හා අනුගත වූ ජර්මන් ජාතික , මාක්ස් හේගල්ගේ සමහර තර්ක ප්‍රතික්ෂේප කරමින් , පිළිගත හැකි සිද්ධාන්ත නැවත තහවුරු කර ගනිමින් තම න්‍යාය වර්ධනය කරන්නට විය එමගින් ගැටුම්වාදී න්‍යාය බිහි විය. මාක්ස් හෙගල්වාදියකු වීමට තීරණය කලේ , එම දර්ශනය සමාජ යථාර්ථ වෙනස් කිරීමට යම් දායකත්වයක් සපයන බැව් දුටු නිසාය .
කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. සමාජ සම්බන්ධතා හා කොමියුනිස්ට්වාදී අදහස් කැටි වූ , ප්‍රකාශන  (1930) දී ආර්ථික හා දාර්ශනික අත් පිටපත් යන මාතෘකාව යටතේ මුද්‍රණය කරන ලදී. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්‍රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගත් කෘතීන් වේ.
ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසුනී . මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. මෙම හමුවද මාක්ස්ගේ ගැටුම් න්‍යාය වර්ධනය වීමට හේතු  වුවකි.
1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.
මාක්ස් ආර්ථික නියතිවාදියෙකි, ඔහු කතා කලේ  ආර්ථික කරුණු මුල් කරගෙනය. නිර්ධන පන්තිය හා ධනපති පන්තිය අතර පවතින ගැටුමට හෙතුව අවදාරණය කරමින් ධනපති පන්තිය නිර්ධන පන්තිය සුරා කෑම සිදු වන ආකාරය විග්‍රහ කළේය. එම අදහස් දැක්වීම් මත ගැටුම් න්‍යාය ඉදිරියට වර්ධනය වන්නට විය. එවකට යුරෝපයේ පැවති ආර්ථික පුනුරුධය තුල වූ මේ සුරාකෑම , ධනේශ්වරය තුල වූ ප්‍රධානම ලක්ෂණය බවට තහවුරු කළේය. සුළුතර වූ දේපල හිමි පන්තිය විසින්  බහුතරය වූ නිර්ධන පන්තිය තම උපකරණය කර ගනිමින්  සමාජය තුල නව ප්‍රමිතීන් ගොඩ නගමින් සිටි ධනේශ්වර ක්‍රමයට අතුල් පහරක් එල්ල කල මාක්ස් සමාජය සංශෝධනය කිරීමට සිය මානසික ශක්තිය යොදවන්නට විය. මේ අරගලය මාක්ස්වාදය වේ.
මාක්ස් විසින් රචිත , හේගල්ගේ අයිතිවාසිකම් පිළිබද දර්ශනය කෘතිය පළවුයේ 1927 වර්ෂයේදීය. මාක්ස් මිය ගියාටත් පසුවය. තවද , සමකාලින ලේකඛයන් විසින් රචා කරන ලද යුරෝපයේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් මාක්ස්ගේ දර්ශනය අභාෂය ලැබූ ලේඛන විය. මාක්ස්ගේ ග්‍රන්ථ මුද්‍රණය වීමට ප්‍රථම , මාක්ස් පිළිබද ලියවුනු පොත්පත් වල සදහන් වුයේ මාක්ස්ගේ දේශපාලන අදහස් හා ආර්ථික විශ්ලේෂණයන් පිළිබද ආදහස් පමණි. මාක්ස්ගේ අදහස් හා න්‍යායන් පිලිබදව ඇති වූ නවෝදය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය වන විට ඉතා ඉහල විය.
මාක්ස් කම්කරු පන්තියේ අරගලය ආරම්භ කලද , නිර්ධන පන්තිය තුල මාක්ස්වාදය එක්වරම තහවුරු කිරීමට නොහැකි විය . මාක්ස්වාදයේ පැවැත්ම ආරම්භ වුයේ  1840 වර්ෂයෙන් ඉදිරියටය. එවකට පැවති සමාජ න්‍යායන්ට එරෙහිව අරගල කිරීමට මුලින්ම මාක්ස්ට සිදු විය . මුලින්ම මාක්ස් දාර්ශනික විනවාදය පිළිගත් රැඩිකල් හේගල්වාදින් සමග අරගල කරමින් ඔවුන්ගේ අදහස් මර්ධනය කරන්නට විය . තවද , එම කාලයේදීම ආර්ථික ක්ෂේත්‍රයේ ප්රුදොන්වාදයට එරෙහිවද අරගල කරන්නට විය 1848 ගණන් වලදී, පැවති පක්ෂ හා මතවාදයන්ට එරෙහිව විවේචන එල්ල කරමින් මාක්ස් තම මතය තහවුරු කරමින් ඔවුන් පරාජය කරන්නට විය. 1860 දී පමණ දී මාක්ස්ගේ අරගලය පොදු න්‍යාය ක්ෂේත්‍රයෙන් සෘජුවම කම්කරු ව්‍යාපාරයට සමීප වෙමින් එය ජාත්‍යන්තර මට්ටමින් බකුනින්වාදය නෙරපීමේ අරගලය බවට පත් කරවිය.
මේ වනවිට මාක්ස්වාදය අන්‍ය දෘෂ්ඨින් සියල්ලම පරදවා කම්කරු ව්‍යාපාර තුල නිසැක ජයග්‍රහණයන් ලබා තිබුණි. පෘදෝන්වාදී සම්ප්‍රදායන් පැවති ලතින් රටවල කම්කරු පක්ෂ පවා ඒවායේ ව්‍යවස්ථාවන් හා උපක්‍රම මාක්ස්වාදී  අර්ථයෙන්, සිය පදනම් සකස් කර ගත්හ . කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර සංවිධානය තම වැදගත් තීරණ වලදී මාක්ස්වාදී ස්ථාවරය මත ක්‍රියාත්මක කරන්නට විය. එහෙත් මාක්ස්වාදයට සතුරු වූ වෙනත් ධර්මයන් මාක්ස්වාදය යටපත් කිරීමට විකල්ප න්‍යායන් සොයන්නට විය. ඒ අනුව 1890 ගණන් වලදී , මාක්ස්වාදයට එරෙහි වූ උපනිතින්ගේ අරගලය ආරම්භ වන්නට විය.
කලෙකදී මාක්ස්වාදියකු වූ බර්ස්ටයින්ස් විසින් මාක්ස්ගේ ධර්මයට සංශෝධන ගෙන එමින් අන්දෝලාත්මක ලෙස මෙම සංශෝධන සිදු කරන්නට විය. මාක්ස්වාදී නොවන සමාජවාදය අදහන පිරිසක් සිටි රුසියාවේදී මෙම සංශෝධන ආදේශ කිරීමට උත්සහ කලත් මාක්ස් පුර්ව සමාජ වාදය පරාජය කරමින් දිගටම අරගලය කරගෙන ගොස් ඇත.
සංශෝධනවාදීන් ඉදිරිපත් කල නිසරු කතා ස්ථාවරවාදිව විවේචනය කල එකම තැනැත්තා ප්ලේහානව් විය.බකුනිවාදීන් මාක්ස්වාදී න්‍යායටත් කම්කරුන් පන්ති මාක්ස්වාදී අරගල වලටත් විරුද්ධ වුහ. එම තර්ක මාක්ස්වාදී න්‍යායට හාත්පසින්ම පටහැනි ඒවා විය.  බකුනින්ගේ ප්‍රතිගාමී අදහස් වලට කාල් මාක්ස් තීරණාත්මක ලෙස සටන් කරන ලදී . මේ සදහා මාක්ස්ට එංගල්ස්ගේ සහයද ලැබිණ. කෙසේ නමුත්  මාක්ස්වාදී න්‍යාය පරාජය කිරීමට නොහැකි විය. රුසියාව තුල නිත්‍යානුකුල මාක්ස්වාදීහු අර්ථිකවාදීහු  , බුන්ද්වරු හා මෙන්ශේවික්වරු බර්න්ස්ටයින්වාදයට ආධාර කළහ. එහෙත් මාක්ස් සිය න්‍යාය වඩාත් තහවුරු කර්ටමින් මාක්ස්වාදය දියුණු කරන්නට විය.
ඉහත හේතු හා ඝට්ඨන හේතුකොටගෙන මාක්ස් ලෝක සමාජය තුල වැදගත් චරිතයක් ලෙස නම් දරන්නට විය . සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය.
මාක්ස් සිය මාක්ස්වාදී දර්ශනය ඉදිරිපත් කිරීම සදහා කෘතීන් රාශියක් සම්පාදනය කරන ලදී. 1876 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර දර්ශනයේ පදනම බවට පත් වන්නට විය .
මාක්ස් තම ආර්ථික විද්‍යාත්මක විශ්ලේශනයන්හි ප්‍රධාන ලෙස සාකච්චා කලේ පෞද්ගලික දේපල නොව “ වෙළද පොලේ බලය “ යන සංකල්පයයි.
මාක්ස්ට අනුව ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ ඵෙතිහාසිකව ගොඩනැගුනක් බව  මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි.
 නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.
මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි.
කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය. සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධනය  අවධි 5 ක් මගින් පෙන්වා දී ඇත.
ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි. එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත. සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ. කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත. මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක. මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි. ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි. වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී. වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී. වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ. ඔවුනට අයිතිවාසියම් සීමා විය. ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය. මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය.
වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ. ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි. මෙම සමාජ ක්‍රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය. මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි. රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි. බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය. මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය. මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ.
වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත. වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි. ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි. නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි. මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ. කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය. ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ.
මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි. සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රාජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී. මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත. ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි. කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රායෝගිකව  දක්නට නැත. සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක. මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ.
මාක්ස්ට සමාන්තරව යන මනෝ වීද්‍යාඥයකු වූ ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක අදහස් වලට පවා මාක්ස්ගේ යථාර්ථ බලපාන ලදී. එනම් , සමානාත්මතාව හා සාමුහික ප්‍රයත්න මිනිසාගේ නෛසර්ග ගුණාංග නොවන බවත් එම ගුණාංග මහත් ප්‍රවේශමෙන් හා සීරුවෙන් ගොඩනගා ගත යුතු ගුණාංග වන බවත්ය. ප්‍රොයිඩ්ගේ එම අදහස  අන්තර්ගත වෙන්නේ මාක්ස්ගේ ” ආදර්ශ රාජ්‍ය “ නම් න්‍යාය ආශ්‍රයෙනි.
මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි. මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ. මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ. කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි.
ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී. මාක්ස්ට අනුව පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි. මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි. මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතා කර ඇත. එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය. එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි. මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය. පරාරෝපනය පිළිබද අදහස් මාක්ස් ඉදිරිපත් කලේ ආගම  ආශ්‍රයෙනි. 1844 මාක්ස් විසින්  රචිත “ ආර්ථික හා දාර්ශනික අත් පිටපත “  හි නොමග ගිය ශ්‍රමය නම් කාණ්ඩයෙහි මෙම පරාරෝපනය හොදින් විග්‍රහ කොට ඇත.
එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවිතා  කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි. එනම් ධනවාදී අර්ථ ක්‍රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි. එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්‍රාග්ධනය නිපදවයි. ධනපතියා සතුවන මෙම ප්‍රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී. නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්‍රාග්ධනය බවට පත්වී ධනවාදී සමාජය  තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය.
කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි. ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.  එසේත් නැතිනම් බිම් මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී. එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි. ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය. එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය.
ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත් වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘
පරාරෝපනයෙන් තොර වීඥානවාදයක් මාක්ස්ගේ ග්‍රන්ථ වල සාකච්චා වේ. එහෙත් මෙම පරමාදර්ශය පියවි ලොවේ සාක්ෂාත් කරගත හැකිද යන්න විවේචන මාක්ස්ට එල්ල විය.එහෙත් එම දර්ශනය ආශ්‍රය කර ගනිමින් ප්‍රංශය , එංගලන්තයේ දේශපාලන දර්ශනය සදහාත් රුසියානු විප්ලවය හා චීන මහා විප්ලවය සදහාත් හේතු සාධක විය. විසිවන සියවසදී මහා පරිමාන සමාජ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරිමට හා “නිතිය ඉදිරියේ සමානත්වය “ නමැති ප්‍රධාන සංකල්පයන් වර්ධනය වීමටද බලපාන ලදී.
ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්‍රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය. ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි. ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී. ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්‍රතිගාමී විද්‍යාඥයන් විධ්‍යාවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි. සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධ බන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි.
කාල් මාක්ස් ප්‍රකාශ කරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි. ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි. තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි. ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස් කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි. එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරන බවයි. එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලී ගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණු වෙමින් පවතින රටවල් ලෙසත් පවතින බව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි.
 “දාර්ශනිකයන් විසින් මෙතෙක්‌ කර තිබුණේ ලෝකය විස්‌තර කිරීමයි. එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස්‌ කිරීමයි” යමක්‌ විස්‌තර කිරීමෙන් පරිබාහිරව යමක්‌ පූර්ණ කාලීන දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වීමට ගත් උත්සාහයක්‌ මාක්‌ස්‌ගේ මෙම ප්‍රකාශයන් තුළින් පැහැදිලි වේ. මාක්‌ස්‌ දාර්ශනික ගතානුගතිකත්වයෙන් ඉවත් වුණි. දර්ශනවාදයෙන් ඔබ්බට වූ මෙම වෙනස මාක්ස් විසින් සිදු කරන ලදී. එම හේතුවෙන් මාක්ස් විසින් ගැටුම් න්‍යාය වර්ධනය කිරීමට ඉහත සිය දර්ශනය උපයෝගී කරගත් බවත් , ප්‍රයෝගික පදනමක සිට ලෝකය දැකීමට නව ඇසක් නිර්මාණය කල බවත් මේ  අනුව් පෙනේ. මෙලෙස ඓතිහාසික භෞතිකවාදය මත විග්‍රහයක යෙදෙන මාක්‌ස්‌ මිනිසාට දැනෙන ප්‍රායෝගික වූ සංකල්පනාවක්‌ මේ තුළ ඇති බව විග්‍රහාත්මකව පෙන්වා දෙමින් එයින් මිදී මිනිසාගේ පොදු මුළු මහත් සමාජයක්‌ සුබ සිද්ධියට පත්කර ගන්නා අයුරු සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද දක්‌වා ඇත . මේ තුළ මාක්‌ස්‌ බලාපොරොත්තු වන ප්‍රධානම සාධකය වන්නේ පොදු මුළු මහත් සමාජයේම සුබ සිද්ධිය සාක්‍ෂාත් කර ගැනීමයි. එනම් සමාජයේ මිනිසා විඳි දුක්‌ඛ  තත්ත්වයෙන් මුදවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සුවිශේෂී වූ දාර්ශනිකයකු බවට පත්වීමට උත්සාහ දැරීමයි. මාක්ස් මේ අනුව සමාජ ක්‍රමය හා සමාජ ව්‍යුහය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කළේය. මාක්ස් දාර්ශනික හෝ ආර්ථික හෝ න්‍යායන් ගොඩ නැගීමට වඩා දර්ශනය ආශ්‍රිතව ආර්ථික න්‍යායන් ගොඩ නැගීමට ගත් උත්සාහය ඉහත කාරනා අනුව සාධනය වේ.
ඉහත සදහන් සියලු සාකච්චා ආශ්‍රයෙන් තෙරුන් ගත හැක්කේ ගැටුම් න්‍යාය වර්ධනය කිරීමට මාක්ස් දක්වන ලද දායකත්වයයි. ඒ වගේම මාක්ස්ට විරුද්ධ මතධාරීන් වූ සංශෝධනවාදීන්  නිසාද මෙම ගැටුම් න්‍යාය වර්ධනය වූ ආකාරය ඉහතදී සකච්චා කරන ලදී. ඒ වගේම ගැටුම් න්‍යාය දියුණු කීරිම සදහා ප්‍රබල මෙහෙවරක් ඉටු කිරීමට මාක්ස්ට න්‍යායාත්මක හැකියාවක්  ලැබුණු බව මේ අනුව පෙනේ.