Tuesday, February 17, 2015

දිනපොතක ආදරණිය සටහන්

     
             
         අයිතිකාරයෙක් නැති දිනපොතක් එක දිනකදී මට හමු උනා. නැවතත් අන්සතු ආදරණිය සටහන් පෙළගැස්මට මං ආයෙත් ආව......

...............දින 
පුංචිම පුංචි තිලනයක් මං නුඹට දුන්න. මුවපුරා ස්තුති කරා මට නුඹ. මං බලන් හිටිය දෑස් දෙස, කවදාවත් කියන්නේ නැති හුගක් දේ දරාගෙන නුඹ ආයෙත්, මදෙස බැලුව. මං අයිති නුඹට කියල නුඹ හිතනව ඇති. මාත් එහෙම හිතුව. ඒ...... කවදාවත් අයිති වෙන්නේ නැති හින්ද වෙන්න ඇති. 

............දින 
හිත කොහේදෝ පාවෙලා ගියා කියල දැනුන. ඉස්සර මතකය හෙමිහිට.... හෙමිහිට ....... හිතගාව පෙළ ගැහෙන කොට මං කෝම දරා ගන්නද....? නුඹ .... කතා කලා මට...... උදව්වක් ඉල්ලුව මගෙන් ඒත්....... ඒ උදව්ව කරන්න මට හැකි කමක් නැති බව නුඹ දන්නේ නැ. නුඹ මං ගැන දන්නේ නැති හුගක් දේ තියනවා කියල නුඹ දන්නේ නැ. ....... නුඹ දන්නේ මගේ හිත විතරයි. මට අයිතිත් මගේ හිත විතරයි කියල නුඹ දන්නේ නැ. නුඹ මං ගැන දැකපු ලෝකය හීනයක් විතරයි කියල ඇයි..... ? තේරුම් ගන්නේ නැත්තේ. හින ලෝකයත් ..... පියවි ලෝකයත් අතර ඇයි...? මම හැමදාම තනි වෙන්නේ. 


.............දින 
හිතට බරක් දැනෙන්නේ මහා මේරු පර්වතේ ඔළුව උද තියාන ඉන්නවා වගේ , මට මගේ ප්‍රශ්න වගේම අනුන්ගේ ප්‍රශ්නත් මගේ වගේ වෙලා. මං දන්නේ නැ ඇයි..... මං මේව හිතන්නේ කියල ....... මට තේරෙන්නේ නැ .... ඇයි .... මං විදවන්නේ කියල. ඇස් දෙක රිදෙනවා ගිනි අව්ව දිහා බලාන ඉදල . ඒත්...... අහම්බයෙන් වැටෙන පොද වැස්සට මගේ හිතේ ගින්දර නිවන්න බැ. 

...............දින 
මහිතට දැනෙන සංවේදී හැගීම තවත් කෙනෙක් කෙරේ ගලාන යන්නේ , පොදු මිනිස් වර්ගයා කෙරෙහිම උපන්න මානව දයාවෙන්. ඒත්...... ඒක වැරදි විදියට තේරුම් ගන්න මිනිස්සුත් ඉන්නව නම් මම ජිවත් වෙන්නේ කොහොමද කියල මමම හිතන්න ඕන. අන්තිමේදී හැමදෙයක්ම හිතට බරක් කරගෙන ජිවත් වනවාට වඩා සැහැල්ලුවෙන් ගතවෙන දවස් ...... හිතට ගෙනෙන්නේ ලොකු අස්වැසිල්ලක්. 

..............දින 
කවදාවත් මං බලාපොරොත්තු නොවන දේවල් මගේ පස්සෙන් එනකොට මං කෝම ජිවිතේ දිහා බලන්නද....? හැම තප්පරයක්ම මට අභියෝගයක් වෙලා ගලා යනකොට මං ඒ හැමදේටම මුහුණ දුන්න සාර්ථකවම . අභියෝගය හැමවිටම අත්දැකීමක් උනා මට , මගේ ජීවිතය හදා ගන්නට . හිතට බරක් කියල හිතුන  හැම දෙයක්ම ...... ජිවිත අවශ්‍යතාවයක් බවට පත් වෙන්නෙ කාලයට වඩා වේගයෙන්. දෑතට මැදි උන සිතල ගිනි අවියට හදවතක් නැති උනත්....... මට මගේ හදවතේ උණුහුම දැනුනා. 

මේ දිනපොත පුරාම සටහන් තිබුනේ මෙපමණයි. ඒ ඇයිද මන්දා...... ඉතාම කෙටියෙන් ආදරය...... දුක වේදනාව...... කදුලු විතරයි ...... ලියවෙලා තිබුනේ. වර්ෂය 2004 දිනපොතේ නමක් නෑ. ඉතිරි දින සටහන් නොලිවේ ඇයිද කියල හිතා ගන්න බැ. 

Tuesday, January 27, 2015

සාම විනිසුරු


             
         සාම විනිසුරු තනතුර කියන්නේ මොකද්ද  කියල , මං අපේ blog මිතුරන්ගෙන් අහන්න ඕන කියල හිතුව. පහුගිය දිනවල දිවයින තුල  වැඩි සංඛ්‍යාවකට මේ තනතුර හම්බ උනා. මුළු දිවයිනටම හා එක්තරා බල ප්‍රදේශයකට පමණක් දිවුරුම් දුන් අයත් මේ අතර හිටිය. වැඩිපුරම ඒ දවස් වල නම් හිටියේ වැඩිහිටි අය. කාන්තා , පිරිමි දෙකොට්ඨාශයම නියෝජනය වෙමින් සාම විනිසුරු තනතුර සදහන් බෝඩ් ලැලිත් එල්ලලා තියනවා මම දැක්කා. 
       අධිකරණයක් හමුවේ දිවුරුම් දෙමින් , ශ්‍රීලංකා රාජ්‍යයේ ඒකීයත්වය රකින බවට ගෞරවනීය  ලෙස දිවුරුම් දී, සමාජ මෙහෙවරක් කරන බවට සපථ  වී එන මේ නිලධාරීන් සමාජය වෙනුවෙන් කරන්නේ මොනවද....? ඇත්තෙන්ම ඔවුන්ගෙන් සමාජ මෙහෙවරක් ඉටු වෙනවාද...... ? කියන එක හොයන්න වටිනා වැඩක්, මොකද වැඩක් කරන්න ඉන්න පිරිසගෙන් අපි වැඩක් ගන්න ඕනනේ. 
       මට මතකයි මං විභාගෙකට අත්සන් කරන්න හුගක් ඉස්සර දවසක සාමදාන විනිසුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. මගෙන් ගාස්තුවක් ගත්තේ නැති උනාට, එයා වෙන අයගෙන් නම් සල්ලි ගන්නවලු. මේක මුදලට කරන ව්‍යාපාරයක්ද....? අර ...... ආගමන විගමන එක ලග කඩ දාගෙන , රට යන අයට දිවුරුම් පෙත්සම් එහෙමත් , සකස් කරන සේවාවක් තියනවා කියල, මං දවසක් පත්තරෙන් දැක්කා. ඇත්තටම මේ සේවාවේ නියම අර්ථය මොකද්ද ...? දවසක් මේ සම්බන්ධ පුහුණු පන්තියක් ගාල්ලේ තියනවා කියල නෝටිස් කරලා තියනවා මං දැක්කා . මොනවද දන්නේ නැ, මේ සදහා තියන විෂය මාලාව 
     දේශපාලන සම්බන්ධයක් තියන අයටත් , මේ තනතුර ගන්න පුළුවන්ලු, ඒ කියන්නේ කවුද මේ තනතුර පිරිනමන්නේ...?   ගෙදර රස්සාවක් නැතිව ඉන්න අයටත් ඒ ගොල්ලන්ට කියල මේ තනතුර ගන්න පුළුවන්ලු. වෙලාවකට හරි පහසු තනතුරක් කියලයි  මට හිතෙන්නේ . 
සාම විනිසුරුවරයෙකු උනාම ලබා දිය යුතු සේවාවන්  හා කර්තවයන් මොනවාද යන්නත්, සමාජය දැනුවත් කරන්නේ නම් හොදයි කියල මට හිතුන. මං හිතන්නේ මේ ගැන දන්නා අය සිටි නම් අපිව දැනුවත් කරන ලෙස ඉල්ලනවා .

Friday, January 16, 2015

ආදරය සුන්දර රැවටිල්ලක් .

      


             පරණ පොත් ගොඩක් අස්සේ අත් අකුරින් ලියවෙචච කාගේදෝ සටහනක් මට හමු උනා. මං හිතුව .... මේ සටහන blog අවකාශයේ රදවන්න. දිනයක්, හා අත්සනක් සටහන පහලින් සදහන්ව තිබුන, මෙන්න මෙහෙම 2006 වර්ෂය ලෙස. එක අකුරක් නෑරම කිසිම සංශෝධනයකට ඉඩ නොතබාම සටහන පහලින් පෙළ ගස්වමි. නමක්, ගමක් නොමැති මේ ආත්ම කථනය ආදරයේ විරහව සංවේදීව පෙළගස්වා ඇති ආකාරය ඔබට දකින්න සලස්වමි. නිර්නාමිකව ඇති නිසා කිසිවකුට හානියක් නොවේ. 
.......හුගක් දේවල් කියනවට වඩා, ලියන ඒක මට පහසුයි. මම හිතන්නේ ඉස්සරත් මම එහෙම කරා, ඔබට මතක ඇති. කියුදේට වඩා ලියු දේ බොහෝයි. ඒත්..... ඒ අතීතයේ මගේ සිතුවිලි හා දැක්ම පටු එකක් වියහැකි බව මට හැගෙනවා. 
   එදා තිබුන බොලදත්වයට ඔබ වඩා කැමති ඇති. ඒ මන්ද , ඔබ  කියන්නේ දැන් මගේ හිත ගොරෝසු එකක් කියල. ඔබට වැරදි ඇතැයි මට සිතේ. මා ගැන ඔබේ හැගීම ..... ම'සිත නම් සියුමැලියි බොහෝ සේම. ඔබ හදුනා ගෙන නැ ඒ වග. 
      ඔබ මගේ සිත දන්නව නම්, චෝදනා කරන්නේ නැ එලෙස. අධි සංවේදී සිතක් හිමි මට නිරන්තරයෙන් දැනෙන දුක.... හංගගෙන මම හිනා වෙන්න පුරුදු වෙලා. වෙලාවකට මහමෙරු පර්වතය වගේ නොසැලී ඉන්නවා. ඒ ආත්ම ශක්තිය තුල ඇති බලවත්භාවයයි කියලයි මට හිතෙන්නේ. 
     වසර දහයකට පෙර සිටි ඔබ නොවෙයි, දැන් ඉන්නේ කියල , මා ඔබට කීප සැරයක්ම කිව්වා මතක ඇති....... ඔව්....... ඒ .... ඔබ නොවෙයි...... ඉන්නේ. අද ඉන්නේ එදා මා , ඔබ තුල දුටු , ආත්ම ශක්තිය , ජීවි භාවය පෙනෙන තෙක් මානයක අද නැහැ. දුටු මතින් අවබෝධ වන ඒ වෙනස ම'සිත තිගැස්මකට ලක් කලා කිව්වොත්  එය සතයක්.
             ඒ කාලය තුල ඔබ නොදුටුවත්, මා සිතා සිටියේ...... ඔබ එදා.... තරණය කරපු කදුවැටියෙ මුදුනටම ඔබ ලගා වෙලා ඇතැයි සිතාය. ඔබ මංමුලාව ඇති බව පමණක් වටහා ගත හැක. ඉනික්බිති, කුමක් මා ඔබෙන් අසන්නද....? සියළුදේ පැවසීම ඔබේ වගකීම උවත්, සගවා ගත්  බොහෝ දේ ඇති බව පමණක් මා දනිමි. 
          ඔබට වදයක් වීම මා හට රුචි නොවේ. නැවත නැවත විමසීමත්, එබන්දකි. ඒ සියල්ල නිශ්ඵල වැයම් පමණි. ඒත්..... මට දැනෙන පිඩාව නම්....... නිම නොවේ. ඔබට මා සත්තකින්ම ආදරේ නිසයි,.... සියළු දේ දරා ගන්න සිදුව ඇත්තේ. 
       ජීවිතය කියන්නේ සරල සුන්දර දෙයක් නොවේ. බොහෝ සංකීර්ණ කඩඉම් පෙළක්. ආදරය කියන්නේ ඊටත් වඩා ගැඹුරු සංකල්පයක් කියල ඇයි.....? ඔබ තේරුම් නොගන්නේ. ඒක අධ්‍යාත්මික බැදීමක් නම් තවත් බොහෝ දුර විහිදේවි අනන්තය දක්වාම. ඒකට නම්, අර්ථකතන, නිර්වචන, විශ්වවාපි බිහි වෙලා නම් නැ තවම. පිළිගන්න වෙනවා අධ්‍යාත්මික බැදීම් .....තව කෙනෙකුට හදුනා ගන්න අපහසු බව. ඔබ මට එවැනි බැදීමක්.
          ඔබ හිතන්නේ නැතුවට අපුර්වත්වයක් තියනවා ඒ තුල මට දකින්න බැරි සම්පුර්ණයෙන්ම. යම් දෙයක් ගැන ඇතිවන හැගීම්, යථාර්තයෙන්ම ලියා එලෙස දැක්වීම, මගේ විවෘතභාවය කියල ඔබට නොතේරෙනවා ඇති. ඒත් ඒක ඇත්තක් ..... ලියන්නවත්..... කියන්නවත්...... පන්හිදටවත් ...... සිතුවිළි වලට වත් විලංගු දමන්න එපා.  
           සම්ප්‍රධායිත්වය වැදගත් ඔබට වගේම මට, ජිවිතේ වටිනාකම් බොහෝමයක් තියෙන්නේ ඒ තුල. ඒත් ඒ ..... සම්ප්‍රධායිකත්වය තුල ඉදන් ජිවිතේ දකින්න ඔබටවත්, මටවත් බැ. ජිවිතේ එක තැන තියෙන්නත් බැ. ජීවිතෙන් ආපස්සට යන්නත් බැ. ඔබ දන්නව, මේ තරම් දුරක් මං ආවේ..... සම්ප්‍රධායිකත්වය තුල ඉදන් නොවන බව. ඒත්.... ඒ.... සම්ප්‍රධායන්ට පයින් ගහල නෙමේ. හොද අවබෝධයෙන්, ඉවසිලිවන්තවයි. ඒත්..... ආදරය සම්බන්ධයෙන් මා දරන මතය නම් හුදෙක්, සම්ප්‍රධායෙන් බැහැර නොවෙච්ච එකක්. 
        ඔබ ගැන මේ තරම් දුකක් දැනෙන්නෙත්, ආදරයට මා ආදරය කරන්නෙත් ඒ හන්දා. ආදරය තරම් මා සිත සැනසූ ....හැඩවූ..... වෙනත් දෙයක් තිබුනේ නැ. ඒ ආදරයේ සම්ප්‍රධායන්ට තවමත් මා, වන්දනාමාන කරන නිසා. ආදරය වන්දනාවක්...... මට මගේ ජීවිතය තුල ඔබට පිදෙන. ඒ වන්දනාව ලබන්න ඔබ ශුද්ධ වස්තුවක් වෙන්න ඕන කියල , මම කියන්නේ නැ....... ඒත්..... මං හිතනවා ....එහෙම උනා නම් හොදයි කියල. 
          ජීවිතේට තව බලාපොරොත්තු එකතු කරන් , මම ඔබ දිහා බලාන ඉන්නව. ඔබ ලගට එන්න හිතාන ඉන්නව. ඒත්.... මගේ හර්ධ සාක්ෂිය එදිනට මාව ඔබ වෙත ඒවාවිදැයි කියල මටවත් හරියට කියන්න බැ. මේ හැම දෙයක්ම අඩමානයි, අවිනිශ්චිතයි කියල මගේ හිත මට කියනවා. දෛවය ඔබ මා එක් කරනවා වෙනුවට වෙන් කරන්නත් පුළුවනි. සියල්ල තීරණය වනුයේ ඔබ මතයි. 
        හිරු නැගෙන හැම දිනකම මල් පිපේවි. මල් පිපිල සුවද දැනෙන්න පටන් ගන්න කොට, ඒ සුවද විදගන්න එන සමනල රෑණක අසිරිය ජනෙල් කවුළුවෙන් පෙනෙන කොට ...... මට ඔබව මතක් නොවී තියේවිද......? ඒ සමනල රෑන අතරින් , මම ඔබව සොයන්න පටන් ගනීවි. ඒත්.... ඔබ මට සමනල හීනයක් නම් නෙමෙයි. එහෙම වෙන්නත් එපා. 
          වෙලාවකට ආදරය උණුහුමයි, ඔබ ලග ඉන්න කොට. ඒ උනුහුමට මම කොතරම් ඇළුම් කරන්න ඇත්ද කියලා මමවත් දන්නේ නැ. වෙලාවකට මගේ හිත අතරමන් වනුයේ ඒ උණුහුම අතරෙයි කියලයි මට හිතෙන්නේ. 
            ටිකෙන් ටික ඒ උණුහුම ගිනි ගොඩක් වෙලා මාව පිච්චෙන කොට හරියට අර ලාම්පු දල්ලට ලංවෙච්ච පලගැටියට උනුදේමද  මන්ද , මටත් උනේ කියල හිතෙනව. ඔබේ ආදරයෙන් මාව පිච්චෙන කොට නැගිටලා දුවන්න මට හිතුනේ නැ. තව තවත් පිච්චිලා අළු ගොඩක් විතරක් වෙනකන් අවසානයක් දකින්නයි මට ඕනෙ. එතකොට මගේ හැම හීනයක්ම පිච්චිලා තියේවි. එදාට මට සැනසීමක් දැනේවි. සමහර විට ඔබටත් ඕන උනේ, ඒ සැනසීම සදාකාලයටම ලබා දෙන්න වෙන්න ඇති.           සත්තකින්ම ඔබ මගේ හිත දන්නව. මගේ හිතේ ආදරයට ඇති තැන, ඔබට ඇති තැන ඔබ දන්නව. ඒත්...... මගේ හිතේ තියෙන නිසල බව, නොකැළැල් බව ඔබ දන්නේ නැ. ඒකයි...... වෙලාවකට රිදවන්නේ මට.
         සුසුම් ගොන්නක් හිත තුල තෙරපගෙන ඉන්න  බව ඔබ දන්නේ නැ, වෙලාවකට ඔබ  ඉන්නේ සිහිනයන් අතර බවයි මට හැගෙන්නේ. දෙලොවක් අතර ජිවත් වන ඔබ .......වෙලාවකට මගේ හිතට දුර වැඩියි කියල මට දැනෙනවා. ඒත්......  එක ලෝකයක් තෝර නොගන්නේ ඇයිදැයි මං දන්නේ නැ. 
       අහන් ඉන්න අමාරු , බය හිතෙන හැම කතාවක්ම මම ඔබ ගැන ඇහුව. ඇස් දෙකට  දෙකට කදුළු උනනකම්, මම ඒවා අහන් හිටිය. දරා ගන්න පුළුවන් උපරිමයකට යටත්ව සාවදානව ජීවිතේට මුණ දෙනව කියල හිතුව. ඒත් ..... ඒ.....  දහිරිය ... මම මගේ හිතට දැඩිව ලබා දෙනකොට ....... අනිත් පැත්තෙන් හිතෙන්  කෑල්ලක් කඩාගෙන බිදගෙන යන්න හදන බව, මම දැනන් හිටියෙ නැ. මම ඔබෙන් අහන්නේ එකම එක දෙයයි. ආදරය කරනවා කියන්නේ මේකටද.....?
           බැදීම් හැම විටම මාව දැඩිව පෙලනවා. මට ඕනෙ මේ හැම දෙයකින්ම ඈත් වෙන්නයි........ බැදීමක් නැති උනාම ජිවිතේ සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු බව අත් විදින්න මට පෙර වගේ පුළුවන් උනා නම්, මගේ හිත මෙච්චර අඩන්නේ නැ........ ආත්මයක තියන සැහැල්ලු බව අත්විදින්න මට පෙරදා වගේ පුළුවන් උනා නම්,...... මගේ හිත මෙච්චර අඩන්නෙ  නැ. ඒ  සැහැල්ලු බව මට විදින්න ඕන. මගේ හිත බර කරන්න එපා තවත්. 
        ඉමක් කොනක් නොපෙනෙන මහා පාළු කාන්තාරයක මගේ හිත අතරමන් වෙලා. අනේ....... මං තනි වෙලා......ඔබ මාව අතරමං කරලා යන්න ගිහින්...... ඔබ මට ආදරෙයි කියල කොපමණ කිවත්...... ඒක ඇත්තක් නෙමෙයි කියල මං දන්නව. ඔබේ ආදරය රැවටිල්ලක්ම විතරයි කියල මගේ හිත මට කියනවා. ඒක හරිම සුන්දර රැවටිල්ලක් කියල මම ඔබට කියනවා.........  
        
මේ ආත්ම කථනය අවසන් වුයේ ..... එලෙසිනි...... ඔවුන් කවුරුන්දැයි..... මා නොදන්නෙමි...... ඒ කෙසේ වෙතත්....... මා සමග සිටිය උන් බව නම් පැහැදිලියි. අද කොතන සිට කෙබදු ලෙස ජීවිතය විදිනවාද යන්නත් නොදන්නෙමි. මේ සියල්ල අතීත සිහිනයන් පමණි. මෙ'බදු .... අයිතිකාරයින් සොයා ගත නොහැකි සටහන් ..... තවමත් .....මා සතුව ඇත.