Sunday, August 10, 2014

අපේ කාලයේ සහෝදරයෙක්

        


         නිමල් පුංචි කාලේ ඉදන්ම ඉගෙන ගන්න දස්සයා . ඒත් ආර්ථික අමාරුකම් මැද්දේ අම්මගේ තාත්තගේ ගොවිතැන් වලට උදව් වී, කීය කීය හරි හොයා ගෙන පොත් අරන් ඉස්කෝලේ ගියා. හතේ අටේ පන්තියට එනකොට දකුණේ භිෂණය පටන් ගත්තේ නිමල්ලගේ අද්‍යාපනයටද කන කොකා හඩවමිනි . 
     මෙතක් ඔහු ආ ගමන් මග වෙනස් කරමින්, යන්න උනේ සමාජ සංශෝධන ව්‍යාපාරයේ පෙරටුගාමී චරිතයකට පන පොවමින්. ජාතියේ විමුක්තිය පිණිසය. සැබෑ දේශප්‍රේමියකුගේ වගකීම රට හා ජාතිය රැකිම බව, නිමල්ට පිළිගන්නට සිදුවුනි. පාසල් අද්‍යාපනය ඒ වන විටත් අවසන්ව නොතිබුනත්, ඔහු රට රැකීමේ භාරදුර කාර්යට අත තිබ්බේ සිය ජීවිතය පරදුවට තබමිනි. 
      ඔහු පෙරමුණේම ගියේය. සටන් ව්‍යාපාර දියත් කළේය. ඔහුගේම සමකාලීනයන් ආරක්ෂක අංශ අතින් අතුරුදහන් වෙද්දී, මළමිනී හන්දි ගානේ දැවී යද්දී, ඔහු ආයුධ සන්නද්ධ විය. පොලිසියට, හමුදාවට කට්ටි පනිමින් , වන වැදුනේ සිය ආරක්ෂාව පතාය. 
       හිරිමල් වියේ එළිපත්තේ සිට සුන්දර සිහින දකිනවා වෙනුවට , මරණය දකිමින්...බියෙන් සැකෙන් කාලය ගෙව්වේය. ඔහුගේ මිතුරන් බොහොමයක් හා ව්‍යාපාරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු  අතුරුදහන් වෙද්දී, නිමල්ගේ දිවි රැකුණේ පුරුවේ වාසනාවකටද කියල අපට සිතුනත්, ඔහු නම් සිතුවේ, මෙලෙස දිවි රැකුණේ කරුමයට බවය. 
       දකුණේ එක් ප්‍රසිද්ධ ගම්මානයක ජිවත් වූ ඔහු..... දේශප්‍රේමී වීරයකු ලෙස අවට ගම දනව් වෙතද..... නිමල් යන නම ප්‍රචලිත විය. ගෝනි බිල්ලෝ මග හරිමින්, දවලට නොපෙනී.... රැට පෙනී .... නොපෙනී..... සටන්  කරමින් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් නිමල් ඇප කැප වෙද්දී..... කාලයාගේ ඇවෑමෙන් භිෂණය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන්නට විය. වල් වැදුණු නිමල්..... නිවසට එන විට , ඔහුගේ අනාගතයද වල් වැදී ඇති බව, ඒ වන විටත්  දැන නොසිටින්නට ඇත. 
      අඩපනව තිබු නිමල්ගේ පාසල් අද්‍යාපනය නැවත පටන් ගත්තේ, ගෙදරින් බැනුම් අහන්නට බැරිකම නිසාවෙනි. සාමාන්‍ය පෙළ, සමත්ව සිටි නිමල් උසස් පෙළද ඉහලින් සමත් වුයේ විශ්ව විද්‍යාලයට යාමට ලකුණක් මදි වීමෙනි. 
        එතකින් අද්‍යාපනය හමාර කරමින්, රැකියා සදහා නිමල් ඉල්ලුම්පත් දමන්න උත්සාහ ගත්තේ, තව දුරටත් ගෙදරට බරක් නොවන්නටය. විටක , සම්මුඛ පරීක්ෂණ සදහා කැදවිණි. එහෙත්, පොලිස් වාර්තාව නිමල් සම්බන්ධයෙන් , හොද එකක් නොවූ බැවින්, එතනින් එහාට යන්න නිමල්ට නොපුළුවන් විය. JVP කාරයා යන නමින් නිමල් හංවඩු ගැහුනේ, ගමේ ප්‍රසිද්ධ චරිතයක් වූ බැවින් හා, ඔහුගේ දේශප්‍රේමියත්වයට ගරු කිරීමක් වශයෙනි. ඉතින් ඔහු කොතෙක් ඉගෙන ගත්තත් කෝ ආණ්ඩුවේ රස්සාවක්? 
          මේ කිසි දෙයකින් වැඩක් නැති බව දැනගත් , නිමල් උරුමයෙන් හම්බ වෙලා තිබුණු කුඹුරට බැස්සේ ජිවත් වීමේ මහා සටන දැන් ඔහු අභිමුවේ ඇති නිසාවෙනි. කුඹුරු නියගයට අහුවී... අස්වැන්න අඩු වෙන්නට පටන් ගත්  විට ඔහුට දෙවියන් සිහි උනේ. මින් ඉදිරියට කුමක් කරන්නදැයි, සිතමිනි..... ඔහු කසාද බැන්දේය. ළමයින් හැදුවේය, දැන් ඔහුට කියා පවුලක් ඇත.පවුල නඩත්තු කිරීම යුතුකම වන්නේය....
          නිමල් නම් වූ දේශප්‍රේමියා, ගමේ වීරයා, අළුත් රැකියාවක් සොයා ගත්තේය. පවුලක් නඩත්තු කිරීමේ මහා බාරදුර කටයුත්තට සරිලන රැකියාව ඔහු තෝරා ගත්තේය. 
       නිමල් බුරු පිටියේ ගණන්කාරයකු වුයේ, දේශප්‍රේමයේ අනුහසින් යයි ගමේ උන් කියයි. ඔහු දැන් මුදලට බුරු ගස්සවයි, ගමේ හා ඒ අවට මල ගෙවල් වැරද්දුවේ නැත. ඒ හැම එකටම සහභාගි වුයේ, නීතියේ රැකවරණ ලැබෙන නිසාවෙනි. දැන් නිමල් JVP නිමල් නොව, බුරු නිමල්ය. ගමේ අය ඔහුව හදුන් වන්නේ එලෙසිනි, තවමත් ඔහු වීරයෙකි, හේතුව, ගමේ කාට හරි අතමාරුවක් ඕන වුන විට පිහිට වන්නේ නිමල්ය. ඒ යහතින් සල්ලි ඇති නිසාය. 
      මට ඔහු හමු උනි, ඒ අවුරුද්දට මුදල් ඔට්ටුවට බුරු ගසා පොලිස් අත්අඩංගුවට පත් වූ නිසාය. ඔහුගේ කතාව මා ඉදිරියේ, පෙළගැස්වුයේ ඔහුගේම  දැසට කදුලක් එක් කරවමිනි. මා ඇහුවේ එක ප්‍රශ්නයයි, ඔහුගෙන්, ඇයි.... දැන්වත් රස්සාවක් කරන්නේ නැත්තේ ඕන තරම් JVP කරපු අය රස්සාවල් කරනවනේ,
          මේ ඔහුගේ පිළිතුරයි, .....
      මං ගියා මගේ සුදුසුකම් වලට රස්සාවක් බලන්න මන්ත්‍රීතුමාගේ ගෙදර, අයදුම්පත දීල යන්න කිව්ව, පස්සේ දන්වන්නම් කියල. මට ආරංචි වුණා එතන හිටපු අය කිව්වලු ඔය JVP කාරයෙක්, මොන රස්සාද කියලා. ඉතින්, මට කවුද රස්සා දෙන්නේ ....? 
       නිමල්ගේ චරිතය සමාජය  විසින් මේ වන විට ලේබල් කර හමාරය. ඒකට පිළිතුරක් ලෙස ඔහු නැවතත්, සමාජ විරෝධී චර්යාවක නියැලී සිටි . අද දවස ගත කලද , හෙට අවිනිශ්චිතය, එහෙත්, දරු පවුල නඩත්තු කරන්නට නම් ඔහුට, හෙටත් බුරුවො ගැස්සවීමට සිදුවේ.  
     වරද කොතනද....? නිමල්ගේද...? අපේද....? 

Friday, August 8, 2014

සිදන්ගනාවී............



නෙක වර්ණ උලා කසී සළු පොරවා 
අදුරු වූ මාවතේ පියමනින සිදන්ගනාවී
රොන්සුනු නැතද තැවරුණු වත්සුණු
නුඹ  වත බබලන්න ඉසිඹුලයි  නිශාවේ ....

ගැහෙන සිතුවිලි හදේ තෙරපා
වැටෙන්නට පෙරාතුව කදුළු බිදු දෑස්  වල
තොම්බුලන්නිය වැඩිම ලන්සුවකට
ඇග මස් විකුණන වෙන්දේසියක .......

නොදැන අතක පැටලී පියමනින
මියුරු  බස් අහුරු තෙපලන්න රාත්‍රියේ 
නොම වේද උණුසුමක් ගිනියම් වූ සඳට 
නාදුනන පුරවරයේ ...... නුඹ .... සිදන්ගනාවී ......

Saturday, August 2, 2014

කුණාටුව



උඩු සුළඟ මුසුව ගිය සුනරුත් පැතුම් පොදි 

හද දවා නෙතු පුපුර ගලා ගිය කදුළු බිඳු 

ජීවිතය යදින්නක් කර මංමුලාව 

හිරු සඳුද නොමැති කල දුකදුරුය හැම විලස 



හමා ගිය සැඩ පාර ජීවිතය උදුර ගෙන 

හිමිව තිබු වසන්තයේ විසිර ගිය සුසුම් වැල් 

මාරුතය දරුණු මුත් ශේෂ වූ ගිම්හානේ 

කෙබඳු ලෙස වැලපේද ගගනතම කළඹමින් 



මලේ මකරන්ද පාව ගිය බොල් සුළගේ 

වියලි බව නොම දැනුනි කටුක වූ දිවි දියඹේ 

ඉරි තැලී බිද වැටි වල් වැදුණු හද දෙරණේ 

කවර දින රැදෙවිද ලතෙත් වූ දිය බිදක්