Wednesday, July 30, 2014

වීදී කොන

  

                ශ්‍රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්‍රීලංකාවේ යාචකයෝ නමින් ප්‍රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විශ්වවිද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් ලෙස  විග්‍රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්‍යාසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී .  ශ්‍රීලංකා සමාජයේ එක් උප සංස්කෘතියක් ලෙස යාචක සමාජය හැදින්විය හැක . මොවුන් සමාජයට දැඩි බලපෑම් එල්ල කල හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇත . අතීතයේ පටන් අද දක්වාම යාචකයින් බිහිවීම වැළක්විය නොහැකි විය . ලෝකයේ පවා සෑම රටකම යාචකයින් සිටීම සුලබ දසුනකි . ධනවාදී මෙන්ම තුන්වන ලෝකයේ රටවල පවා මෙමෙ උවදුර දැකිය හැක .

             මොවුන් සමාජයක අත්‍යවශ්‍ය  කොට්ටාශයක් නොවේ . එහෙත් සමාජයෙන් ඉවත් කල හැකි කොටසකුත් නොවේ . හේතුව ඔවුන්ටත් මේ දීපය තුල ජිවත් වීමේ අයිතිය ඇති නිසාය , ඔවුන්ද මනුෂ්‍යයින් වන නිසාය .   යාචකයින්ගේ ගැටලුව සදහා කිසිදු ස්ථාවර  ක්‍රියා  මාර්ගයක් රජය විසින් ගෙන නොමැත . යාචකයින් ජිවත් වනුයේ කඩපිල් වල හා අගුපිල් වලය මොවුන්ට බොහෝ විට නිවෙස් නොමැත . සිගමනින් අහිංසකව ජිවත් වේ එය සම්ප්‍රධායයි  . නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී , මැර කමින් , මංකොල්ල කමින් , හා වෙනත් නීති විරෝධී ක්‍රියා  සිදු කරමින් ජිවත් වන කොටසක් බවට යාචකයින් පත්ව ඇත . මොවුන් වරෙක පාතාලයේ ක්‍රියාකාරකම්ද , ත්‍රස්ත ක්‍රියා  සදහා ඉත්තන් වීමද , පහුගිය වකවානුවේ දැකිය හැකි විය . 

            මෙහිදී යාචකයින් තුලින් වීදී ගණිකාවන් බිහි වීමද , වීදී දරුවන් බිහි වීමද දක්නට ලැබුණි . මොවුන් සියලුම දෙනා සංක්‍රමිකයන්ය . ළදරුවාගේ සිට මහල්ලා දක්වාද ආබාධිතයින් හා මන්ද බුද්ධිකයින් දක්වාද ඔවුන් සදහා ආර්ථික වටිනාකමක් විය . යාචකයින් සමාජයට කරදරයක් වූ විට උන් හිටි තැන් නැති අය, වරෙක පොලිසිය අධිකරණය මගින් රිදියගම නිවර්තන නිවාසයටත් , ගංගොඩවිල නිවර්තන නිවාසයටත් , මානසික රෝගීන් අංගොඩ මානසික රෝහලටත් , ළමුන් පරිවාසය හරහා ළමා නිවාස වලටත් යොමු කරනු ලැබිය . 

              එක් යුගයකදී , කොළඹ සිටි සියලුම යාචකයින් බලහත්කාරයෙන්ම රිදියගම නිවර්තන නිවාසයට ගල් කරන ලදී . එහෙත් , පිරිසක් එම නිවාසයෙන් පලා  ගිය අතර ඔවුන් නැවතත්   කොළොඹ පෙදෙසේ  දක්නට විය . මේ අතර පදික වෙලදුන්ද වෙනත් ගමන් ගිය වයසක උදවියද සාමාන්‍ය  ජනතාවද එම ගාල් කිරීමට ලක්විය . යාචකයින් සදහා එම විසදුමද උචිත නොවන බව අදාල පාලන අධිකාරීන් වටහා ගන්නට ඇත . යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය . 
             යාචකයින් සමාජයට අනවශ්‍ය  පිරිසක් බව සැබෑය . එහෙත් ඔවුන් වෙනුවෙන් මීට වඩා මානුෂිය විය යුතු බව මතක් කර දීමට කැමැත්තෙමි .

Tuesday, July 29, 2014

දැහැන



සරා සද මෝදු වී තෙමා වැටි කදුරැල්ල
තරු නෙතට ඉගි කරන් විසිර ගිය හසරැල්ල
කොද කැකුළු පුදින සිසි කැලුම් නල රැල්ල
දරා  ගනු කෙලෙස තුටු හදවතට සිහිලැල්ල

වනපස මලින් පිදුම් ලැබූ නිරාමිසයන්
පරසතු මදාරා අකැප වූ පාරමිතාවන්
වඩන්නට බවුන් නොදැනෙන්න මල් පවන්
මිරිගු දිය නොපැගි පා ඔසන සදරුවන්

හිරු නැගී මල් පිපි සියොත් කල හඩාවී
නෙතු බැදී මන බිදී හද ඇතුරු සරාගී
මල් මන්ද මාරුතේ කැලඹ ගිය නුරාගී
දැහැන් ගත සමාධිය සිත් ඉමෙන් හමාවී

Saturday, July 26, 2014

ප්‍රේමයේ සත්‍ය කතාව


තාරුණ්‍ය  උද්වෙගකරය ...........
සද මඩලක්ව පිරිසිදුය ........පියකරුය ........
අහම්බයෙන් එන මේඝ වලාවන් සද මත වැටි .........
අන්ධකාරය .......අමාවක සේ .......

හොරෙන් ඉසිඹුලන සිතුවිලි ........
එක්රොක්ව පෙළගැසී ........
කතිකාවතකට පෙළහර පාන ඉල් මසේ .......
සද නම් බියකරුය .......පුරුද්දට මෙන් .......

තාරුණ්‍ය  නිසි අරමුණු නො ,ගත වූ කල 
වැලද ගත් මාවත ...... තනිව නොව උපාලිලා සමගින් ……
නිමල් ඉන්දිරා දෑත් පැටළුනේ ....?

පරාජය වූ ප්‍රේමය වැලද  ගෙන නන්නත්තාරව 
මරණයේ සුදු කොඩි නොදැන යන්නම ගිය නිමල් ....
ආපසු එයිදැයි මග බලන හුදෙකලාවූ තාරුණ්‍ය  සමගින් 
මැදිවියේ එළිපත්තට පැමිණ ආපසු හැරුන ඉන්දිරා .....
ජීවිතය කුමක්දැයි සෙවුවේ ........

තනිකම , පාළුව දරාගත නොහැකිව ..........

උද්වේගකර තාරුණ්‍ය  .......සමාජවාදය ......
හදන්න බලපු අලුත් ලෝකය ........
සියල්ල හිරුදුටු පිනි සේ .........වියකි .... ගිහිල්ල .....
ඉන්දිරා .......

අනන්‍ය  වූ කිසිවකුත් නොඉතිරව...... 

ප්‍රේමය අබියස තනිව ........ හැඩුම් ලාගෙන ආපසු එන්නේ නැති 
නිමල්ව  සොයන්නේ ....... මග හුන් අය හැරගිය හන්දද .....


ගුණදාස අමරසේකරගේ 'ප්‍රේමයේ සත්‍ය කතාව ' ඇසුරින් නිර්මාණය වූ නිසදැස..... තාමත් හිත් කොනේ රව් පිළිරැව් දෙන්නේ  ප්‍රේමය හා විශ්වවිද්‍යාලිය සමාජවාදයේ බිදවැටීම ම,සිතට පසක් කරලමිනි.

Thursday, July 24, 2014

' චාරිකා' තුලින් අවදි උනෙමි......

         

   
දිනක් මා  චාරිකා කල සුරියවැව තිලෝවක ධජ - පොකුනුගල අරණ්‍ය සේනාසනය ගැන ඔබට හදුන්වා  දුන්න බව මතක ඇති..... 

                එම ආරණ්‍යයේ සේනාසනාධිපති , නවදගල අනාගරික ධමමික යෝගාවචර හිමියන්ගේ බුද්ධ ශාසනයේ උන්නත්තිය සදහා නාමික බෞද්ධයන් නොවී, සැබෑ ප්‍රතිපත්තිගරුක බෞද්ධයන් ලෙසින්  ජිවත් වන්නට මග පෙන්වනු ලබන ලිපි පලවන බ්ලොග් අඩවියක් ලෙස  

http://anagarikayogawachara.blogspot.com/

බ්ලොග් අඩවිය හදුන්වා දිය හැක. 

            ඔබේ ජිවිතයට අළුත් අරුතක් එකතු කරමින් අධ්‍යාත්මික දියුණුව සලසා ගැනීම සදහා, කියවන ලෙස , මාගේ බ්ලොග් මිතුරනි ඔබට ආරාධනා කරමි. 


Tuesday, July 22, 2014

විලි බිය




        දඩයම් යුගයේ අපට කිසිත් බියක්, සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් වුනේ, අපි අප ගැන නොදන්නා නිසයි. අපිට අපේ කියා දෙයක් තිබුනේ නැ. අයිතිකර ගැනීම්,ඇත්තෙම නැ. පොදු දේපල ක්‍රමය, භාණ්ඩ හුවමාරුව විතරයි, ජීවත්වීම පිණිස අවශ්‍ය වුනේ. කන්න දෙයක් හොයාගෙන ගහක්, ගලක් යට වැටිලා නිදා ගත්තම ඒක තමයි ජිවිතේ කියන්නේ. 
         සරල උපයෝගිතාව, මේ අඛණ්ඩ පැවැත්මට බාධා කරන්න පටන් ගත්තේ කවර කලෙක ඉදන්ද කියල මං හොයනවා . මොකද යැපුම් කෘෂි කර්මයට  කැමති නිසා. බලය පතා මිනිසා ඉදිරි ගමනට අවතීර්ණ වුවාදැයි හිතෙන්නේ, එදත් හයිය ඇති එකා, ලොකුම මස් කුට්ටිය අල්ල ගත්ත නිසයි. අතින් වහගෙන හංගන්න දෙයක් නැතිව හිටිය මිනිසාට මොකද වුනේ කියල දැන්නම් හිතෙනවා. ලැජ්ජාව කියන වචනය පටන් ගන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති. 
          විලිබිය ටික ටික දැනෙන්න  ගත්තේ ශරීර ආවරණයක ඕනෑකම තිබුන නිසා, නිදහසේ ජිවත් වෙච්ච මනුස්සයා. සමාජ සංක්‍රමනයත් එක්ක විපරිත වෙන්න වුනා . දඩයම් යුගය අවසන් කරලා, සරල සමාජ හරහා දේශපාලනික ගමනක් ඇවිදින් ආපස්ස හැරිලා බලන්නේ, මේක සදාචාරාත්මක ගමනක්ද කියල වෙන්න ඇති. විලිබිය දැනෙන්නේ, කරපු කී, දේ මතක් වෙලා වෙන්න ඇති. කොයි පැත්තෙන් වහන්න හැදුවත් දැන්නම් වහගන්න බැරි තරමට කඩතොළු වැඩිවෙලා බව දැනෙන කොට. එදා හිටිය දඩයම් යුගයටම නේද අපි අපහු ආවේ කියල හිතෙනවා. එදා නොතිබුන විලිබිය අද දැනෙන්නේ සමාජ නිරුවත ඕනෑවටත් වඩා පෙනෙන හින්දද.....මන්දා

               බලය අල්ලා ගතහැකි දෙයක් නොව, රදවා තබා ගතයුතු ක්‍රියාවකි. රැදෙන්න නම්, යහපාලනයක් තිබිය යුතුය. අතහැර යන කිසිම දෙයක් නැවත නොඑන්නේ, දැක්මක් නොමැතිකම හන්දයි. විලිබිය දැනේ නම් නැවත ඔබ කරා නොඑනු ඇත. එහෙත්, නැවත එන්නේ ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිවය. මෙය වර්තමාන ජිවන රටාවයි. අපට අපේ කියල දෙයක් නැත. මට කියල දෙයක් ඇත. වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත. 
           නැවත නැවතත් කැරකෙන්නේ මේ විෂම චක්‍රයමයි කියල දන්නේ කියෙන් කීදෙනාද....? පාට වෙනස් උනත් පෙතේ අදින්නේ එකම දාමෝ සෙට් එකම තමයි. කියල හිතන්න බැරිද..........?  

Saturday, July 19, 2014

නිදහස් .... නිවහල්.....

          

          
           ලෝකය නිදහස්ය... නිවහල්ය.... මේ සුපින්වත් බිමේ, පය තබන්න ...... කල පින් මදිද කියාත් සිතේ. ස්වභාවික යුක්තිය අහසින් බිමට විත්, පව්කාරයන්ට දඩුවම් කරන්නට පටන්ගෙන ඇත්දෝයි සිතෙන තරමට කරුණු කාරනා සිදුවෙන සැටියක් පෙනේ.යුක්තියේ  සමාජ රාමුව අභිබවා යා නොහැකි බවත්, බව තරණය කරන්නටම සිදුවෙන බවත් ඉදුරා පැවසිය හැක. නිදහස් නිවහල් මේ සාමකාමී මන්දාකිණියේ , සළෙලු වරම් ලබාදුන් දෙවියෙක්වත්, ගැත්තෙක්වත් නැති බව යුක්තියේ මාතාව අපට නැවතත් පසක් කළේය. සිදුවීම් බොහෝම සෙමින් සිදුවන විට, ඇයි මේ ඉක්මනක් ...... සියළු කරුණු අවබෝධ වීමෙන්ද නැතහොත් උන්මන්තක අවපීඩන පසුපස එලවන නිසාද .....අවසානය සොයා පා නැගුවේ , ය'දඩු වටවූ   මුරුග පුරවරයට .

               ඔබට මෙසේද, තවකෙකුට එසේද සිදුවන අහඹු ප්‍රාතිහාර්ය ඔස්සේ දෙපා නගන විට........ දනන්  පිරිවරාගත් රග මඩලක නටන රුකඩ  ...... විහිදුනු දෙපා සොලවමින් , අල්ලලන අළුත් කස්තිරම්, වැයෙන බෙර පදයට, ඔසවමින් සිය දෑත ...... පිළින දෙමින් සාමයේ රජ පරවී දහනක කිරුළු පළදින බවට, සපත වෙමින් දහසක් පොරොන්දු සමග අප .... ඔබ සමගයි ...... කියා. වෙනසක් සොයන හුදී ජනයාට ..... දිව කප්පරක් සිරි සැප දෙමුයි ....මතක බන කියමින්, රගන්නෝය, සිත් තුටින්.

             අළුත් ලෝකයක් හදන්න ..... සතුටින් සාමයෙන් දිවි ගෙවන්න අප සිතන විටම, උදා වෙතයි, බලාපොරොත්තු වන ලෝකය      ඇලඩින්ගේ පුදුම පහන මෙන්, මැවිම්වාදය .....දෙවියන්ගෙන් ලැබෙන තුටු පඩුරු ..... වලට කවුද ආස නැත්තේ...? රැල්ලට හසුවෙලා   ..... පාවෙලා යන්න  .... ගහගෙන යනකොට තණකොළ පදුරු වල එල්ලෙන්න . 


          තාමත් අපට පුළුවන්. බලය හා ලෝභය මෝඩ ලෙස පාවිච්චි නොකරන තෙක් , හිස් දෑසින් බලා ඉන්න..... ලෝකය තවමත් නිදහස් , නිවහල් තමයි..... ඒත් අපේ නිදහස ..... බාධාවක් නැතිව පාවෙලා යන්න පුලුවන්ද...

          සියළු විප්ලවයන් හමුවේ..... හෙට බිහිවන අළුත් ලෝකය දෙස බලන් ඉමු අපි .... සංක්‍රාන්තියක් උදා වෙනකන් . 


Tuesday, July 15, 2014

ලොව පුරා සරණාගතයින්ගේ විශාල වැඩිවීමක්


    
            ලෝකයේ 1994 වසරදී තිබුනට වඩා සරණාගතයින්ගේ  වැඩි වර්ධනයක් මේ වන විට සංඛ්‍යාලේඛන වල සටහන්ව ඇත. ගැටුම්කාරී තත්වයන් හා ජිවිත හානි විශාල වශයෙන් වාර්තා වුයේද, මේ ජන සංක්‍රමණ ආශ්‍රයෙනි. මින් වැඩි ප්‍රමාණයක් දේශපාලන රැකවරණ පතන අය බව එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පෙනී යයි. 

       මින් බහුතරය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග රටවල් වලින් පැමිණෙන අතර, ඉන්දුනීසියාව හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මිට අමතරව මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ සිට මද්‍යධරනි මුහුද හරහා ඉතාලියට පැමිණේ. 
          
        මේ සියල්ලටම හේතුවුයේ, යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවයයි. එමෙන්ම, දුප්පත්කම යන කරුණු හේතුවී ඇත. අළුත් ජිවිතයක් බලාපොරොත්තුවෙන් ජිවිත පරදුවට තබා, මොවුන් සංක්‍රමණය කෙරේ . මේ අනුව බලන විට මිලියන 26 ක පමණ ජනතාවක් ලෝක සංක්‍රමිකයන්ගේ ඝනයට වැටේ. ඉන් මිලියන 10.4 ක් භූමියෙන් පිටත්, 15.6 ක් උපන් භූමියේත් සරණාගතයින් බවට පත්ව ඇත. 

           පසුගිය වසර දෙකේ සිරියාවේ ඇතිවූ ගැටුම් නිසා, මිලියන දෙකකට අසන්න පිරිසක් අවට රටවල අවතැන්ව ඇත. ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ වෙතයි, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 

Monday, July 14, 2014

දඩුවම සුදුසුද

                     


          වනචාරී යුගයේ සිට මිනිස්සු අපරාධ කරති . එවකට පැවැති යුගයේ වරදට දඩුවම මරනයයි . නමුත් නීති හා සිමා එදා තිබුනේ නැත . මිනිස්සුන්ට කැමති දඩුවමක් දීමට හැකියාව පැවතුනි . නොයෙක් සමාජ අතර වැරදි සිදුඋනි .එදා ඔවුන්ට ඒවා අපරාධ යයි  සැලකීමට උවමනාවක් හා දනුවත් බාවයක් නොතිබිණි . 
          මේ අනුව ගැටීම හා සමාජ පෙරලි කීපයක් ඔස්සේ නවීන සමාජය දක්වා පැවැති පර්යාය වෙනස් උනි .සමාජ වෙනස්කම් මානුෂිය මුහුණුවරක් ගත අතර , ඒවාට ගැලපෙන නීති පද්ධතියක් සකස් කරන ලදී .නිත්‍යානුකුල  සමාජයක මිනිසාට පැවතීමට ස්ථාවරභාවයක් තිබුණි . වරදට දඩුවම පැවැති හෙයින් , අපරාධ තරමක් දුරට පාලනය විය . නමුත් නිරන්තරයෙන් සමාජ ගැටුම් ඇති විය . නුතන වෙනස්වීම්  සමහර සමාජ වලට දරා ගත නොහැකි විය .

        සමාජ විෂමතාවය හේතුවෙන් පුද්ගල ගැටුම් උත්සන්න විය . නොයෙක් වර්ගයේ අපරාධ බිහි විය . මේ සියල්ලටම හේතු ලෙස පවතින සමාජ ක්‍රමය ඉවහල් වුවා අපට යයි සිතිය හැක . එබැවින් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවුයේ සමාජය යයි  පිළිගන්නට සිදුවේ . එහෙත් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙය වූ  ක්‍රම  කීපයක් ඇති බව විමර්ශනයේදී දැකගත හැක  .

1 උපන් අපරාධකරු , 
      එනම් මිනිසා ස්වභාවයෙන්ම අපරාධ නැමියා ඇත්තෙක්ය යන හේතු සාධකය ,

2 ජීව විද්යාත්මක අපරාධකරු , 
      එනම් මිනිසා අපරාධ කිරීමට පෙළඹීමට ඔහුගේ ශරීර අවයව පිහිටා ඇතැයි යන මතය  .

3 සමාජීය හේතු මත බිහි වූ අපරාධකරු 
         එනම් , සමාජය අපරාධකරුව නිර්මාණය කරයි  යන මතය .

      ඉහත සදහන් හේතු අශ්‍රීතව අපරාධකරු බිහිවූවා යයි  මේ අනුව සිතිය හැක . නමුත් බහුතර පිළිගැනීම වුයේ , සමාජය අපරාධකරු නිර්මාණය කරයි  යන නවීන මතයයි  . එබැවින් සමාජය විසින් නිර්මාණය කරන අපරාධකරු වෙත දඩුවම් ලබා දෙන්නෙත්   සමාජය විසිනි . එබැවින්, නවීන  සමාජයේ දඩුවම නිත්‍යානුකුල විය. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට  අනුකුල වුවකි .

    මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ දඩුවම් ක්‍රම  කීපයක් අපරාධ සදහා ක්‍රියාත්මක  විය .

1 බන්ධනාගාර ගත කිරීම , සිර දඩුවම 

2 දඩ ගෙවීම ,

3 ශාරීරික දඩුවම් , දැනට නැත

4 මරණ දඩුවම , මෙයද දැනට ක්‍රියාත්මක නොවේ .

5 ප්‍රජා විශෝධන නියෝගයක් ලබා ගැනීම 

6 අත්හිටවූ සිර දඩුවම් 

7 වන්දියක් මුදලින් ගෙවීම

8 රජයේ ගාස්තු අය කිරීම් 

     අපරාධකරුවකු හට  දඩුවම් කිරීම  සදහා නිසි ක්‍රියාදාමයෙන් අනතුරුව , බන්ධනාගාර ගත වුවාට වරදක් නැත . එය කාලෝචිතය . දඩ ගෙවීමද වරදට අනුව සමාජකාලිනය. ශාරීරික දඩුවම් අද වන විට සමාජයට උචිත නොවේ .

      අප ජිවත වනුයේ තවමත් තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය . මරණ දඩුව අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැකි නිසාවෙනි  . තව දුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , වරදකරු  මරණයට පත්කලාට පසුව වරදට නිසි දඩුවම ඔහුටත්,  සමාජ සාධාරණත්වය වින්දිතයා  වෙනුවෙනුත්  ඉටු නොවන නිසාය .

         නීති ප්‍රතිසන්ශෝධනය විය යුතුය . සමාජයට ගැලපෙන දඩුවම් හා අප අනුගත විය යුතුය . පුනුරුත්ථාපන ක්‍රියාවලියක අවශ්‍යතාවය දඩුවම් සදහා ආදේශ කල යුතුය .

       ලෝකයේ කිසිදු රටක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් , අපරාධ අඩු වුයේ නැත . වෙනසක් දැකීමට හැකි වන්නේ සමාජ ප්‍රතිසංස්කරණයන් තුලින් පමණක් බව අප වටහා ගත යුතුය . අපරාධකරුවන් පුනුරුත්ථාපනය කල යුත්තේ එබැවිනි . ඒ සදහා අවශ්‍ය  විකල්ප යෝජනා සම්මත කර ගන්නවා වෙනුවට දඩුවම් ප්‍රතිපත්ති තව දුරටත් වර්ධනය කිරීම සුබසාධක රජයක ප්‍රතිපත්තියක් නොවන බව අප වටහා ගත යුතුය .

      නීති වෙනස් විය යුත්තේ පුද්ගලයා සමාජ ගත කරන්නට මිස , සමාජයෙන් තුරන් කරන්නට නොවේ . අපරාධකරු ආරක්ෂා කලයුතුද නොවේ , එසේ නම් කලයුත්තේ කුමක්දයි  සිතීමට විචාරශීලි විය යුතුය .එබැවින් අපරාධය හා දඩුවම අපරාධ විද්‍යානුකුල පියවරක් කරා  යා යුතු බව වටහා දීමට සිදුවේ . .