Friday, April 21, 2017

පර්යේෂණයක ක්‍රමවේදය යනු කුමක්ද ?




          පර්යේෂණයක විධික්‍රමය යනු ක්‍රමවේදය නොව , ක්‍රමවේදය යනු විධික්‍රම පිළිබද න්‍යායික හා දාර්ශනික පදනම සහ සාධාරනියකරණයන් කිරීමයි.
තම තේරීම යම්කිසි න්‍යායික තලයක සිට සාධාරණියකරණය කිරීමට පර්යේෂකයාට සිදු වේ. මෙය “විධික්‍රමය පිළිබද ක්‍රමවේදාත්මක සාධාරණියකරණය” වේ. මෙලෙස සාධාරණියකරණය කරන ඉහල තලය නම් , “ ඥානය පිළිබද විද්‍යාවයි ” . එනම් , ඥාන මිමන්සාවයි .
පර්යේෂණය යනු ඥානසම්පාදනය කිරීම නම්, විධික්‍රමය පිළිබද ඥානනය කරමින් න්‍යායාත්මක මග පෙන්වීම යටතේ , ඥාන මිමන්සාත්මක සාධාරණියකරණයක් කල යුතු වේ.
 ඥාන මිමන්සාව දර්ශනවාදයේ ශාඛාවකි. එහිදී , ඥාන මිමන්සාව විවරණය වන්නේ පහත ප්‍රශ්න වලට අනුවය.
·       ලෝකය ගැන දැනුම ලබා ගැනීමට ඇති මාර්ග මොනවද ?
·       තමන් විසින් සොයාගත් දැනුම, ඥානය වලංගු බව කියන්නේ කුමන පදනමක සිටද ?
·       ඥානය ලබා ගැනීමට ඇති මාර්ග වලින් වඩාත්  වලංගු වන්නේ කුමන මාර්ගද ?
·       අපගේ දැනුමෙහි වාස්තවිකත්වයක් නැතහොත් නිශ්චිතභාවයක් තිබෙන්නේද ?
·       ඥානයේ නිශ්චිත බව සදහා ඇති මිනුම් දඩු මොනවද ?
·       වාස්තවික ඥානයක් කියා දෙයක් නැතිනම් , ඥානය යනු සාපේක්ෂ දෙයක්ද ?
පර්යේෂණය යනු , ඥාන සම්පාදන මාද්‍යක් යයි , තේරුම් ගත විට ඉහත ප්‍රශ්න විසදා ගත හැක.
සමාජීය විධ්‍යවන්ගේ ක්‍රමවේදාත්මක සම්ප්‍රධායන් දෙකක් ඇත.
1.    වාස්තවිකවාදී සම්ප්‍රධාය
2.    මනොමුලවාදී සම්ප්‍රධාය
එහෙත් , 1970 වර්ෂයේදී මෙම සම්ප්‍රදායන් දෙකට විකල්ප ලෙස , විවේචනාත්මක යථාර්ථවාදය ( critical realism ) නමැති සම්ප්‍රදාය බිහි වුනි.
ක්‍රමවේදය පිළිබද වාස්තවිකවාදී සම්ප්‍රදාය සම්බන්ධ වී තිබෙන්නේ ප්‍රත්‍යක්ෂමුලවාදී හා අනුභූතිවාදී සමාජීය විද්‍යා සමගය. 
වාස්තවිකවාදී   ක්‍රමවේදයේ මුලික මුලධර්ම
·       වාස්තවික ලෝකය මිනිසාට එපිටින් තිබෙන දෙයක් නිසා , මනුෂ්‍ය චින්තනයට පරිබාහිරව සහ ස්වාධීනව පවත්නා වාස්තවික යථාර්තයක් (objective reality ) ලෙස පවතී.
·       ගවේෂණය සදහා වූ වාස්තවික විධික්‍රම මගින් ,  වාස්තවික ලෝකය ඥානනය කරන්නේ පර්යේෂකයාගේ පුද්ගලික අදාස් වලින් සහ අගතීන්ගෙන් ස්වාධිනවය.
·       වාස්තවික ඥානය වනාහි , පුර්ව ඇගයීම් වලින් තොර (value – free ) විද්‍යාත්මක හා සත්‍යෙක්ෂණය කල හැකි දැනුමකි.
·       වාස්තවික පර්යේෂණ විධික්‍රම අවශ්‍ය වන්නේ , වාස්තවික ලෝකය පිලිබදව අපගෙන් සිදුවන අගතීන්ගෙන් දුෂණය නොවූ කරුණු (hard data ) ලබා ගැනීමටය. මේ සදහා යොදා ගන්නේ , ප්‍රමාණික හා ප්‍රමානගත කල හැකි දත්තයන් වේ.
මනෝ මුලවාදී ක්‍රමවේදයේ මුලික මුලධර්ම
·       සමාජීය හා මානවීය ලෝකයේ මනුෂ්‍යන් විසින් නිර්මාණය කරනු ලැබූ නිසා එය මනෝ මුලික ලෝකයකි.
·       වාස්තවික සත්‍ය හෝ වාස්තවික යථාර්තය කියා දෙයක් නැත. ලෝකය තේරුම් ගැනීම යනු මනෝ මුල ලෝකය මනුෂ්‍යන් ලෝකය තේරුම් ගන්න ආකාරයටම පර්යේෂකයාද තෙරුම් ගැනීමය.
·       පර්යේෂණයේ අරමුණ විය යුත්තේ මනුෂ්‍යන් තම සමාජ ලෝකය තේරුම් ගන්න ආකාරය ඔවුන්ගේම ප්‍රභේදයන් මගින් තේරුම් ගැනීමයි.
දහනම වන සියවසේ පටන් සමාජීය විද්‍යාවන් වර්ධනය වුයේ වාස්තවික - මනෝ මුලවාදී බෙදීම් පදනම් කොට ගෙනය. නමුත් මෙම සම්ප්‍රධායන් දෙකට පරිබාහිරව විවේචනාත්මක යථාර්ථවාදය විකල්ප ප්‍රවේශයක් ලෙස බිහි වුන අතර එම ප්‍රවේශයේ උපකල්පන පහත ආකාරය වේ. මෙම ප්‍රවේශය වැඩි දියුණු කලේ රෝයි භාස්කර් හා ඔහුගේ සගයන් විසිනි.
·       සමාජ ලෝකයේ පවතින යථාර්තයක් නම් , සමාජ ව්‍යුහයන් , සමාජ ක්‍රියාවලින්, සමාජ පන්ති සහ ආර්ථික සම්බන්ධතා යන මනුෂ්‍යන්ගේ පැවැත්මේ තත්වයන් ප්‍රධාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ මෙම වාස්තවික යථාර්තයන් විසිනි .
·       මෙම වාස්තවික යථාර්තයන් මිනිසාට ඥානනය කල හැක. මනුෂ්‍ය වීඥානයට ඒවා ග්‍රහණය කල හැක. තේරුම්ගත හැකිය.
·       මනුෂ්‍යයින් වාස්තවික යථාර්ථයේ වහළුන් නොව මනුෂ්‍ය තර්කනයන්ට ඒවා වෙනස් කල හැකිය.
සමාජීය විද්‍යා පර්යේෂණ සදහා ඇති හොදම විධික්‍රම වන්නේ ප්‍රත්‍යක්ෂමුල / අනුභූතිවාදී විධික්‍රමයන්ය . (ප්‍රජා විද්‍යාඥයින් , භූගෝල විද්‍යාඥයින්, දේශපාලන විද්‍යාඥයින්, ) විසින් බොහෝ විට භාවිතා කොට ඇත. ලංකාවේ බොහෝ පර්යේෂකයින් මේ සදහා අනුගතවී ඇත. එහෙත් මේ සදහා විවෙචාන එල්ල වූ අතර එයට විකල්ප ලෙස පහත වර්ගීකරණය බිහිවිය.
v පශ්චාත් - ප්‍රත්‍යක්ෂමුල ක්‍රමවේදයන වර්ධනය වෙමින් එයට සාපේක්ෂව ,
§  ප්‍රපන්චවේදය (phenomenology)
§  මානව ප්‍රජා ක්‍රමවේදය (ethnomethodalogy)
§  මාක්ස්වාදය
§  විචාරාත්මක න්‍යාය
§  අර්තදිපනවේදය
(විද්‍යාව, ඉතිහාසය, ස්ත්‍රීවාදී අධ්‍යන, සංස්කෘතික හා සාහිත්‍ය අධ්‍යන, ආගම් අධ්‍යන) වැනි සමාජීය හා මානවීය විද්‍යා පර්යේෂණ සදහා යොදා ගෙන ඇත.
මෙම විධික්‍රමික පියවර සියල්ල නිශ්චිත ක්‍රමවේදාත්මක උපකල්පන කීපයක් මත පදනම් වේ. ඒවා නම් ,
·       පර්යේෂකයා තමන් අධ්‍යනය කරන මනුෂ්‍ය ලෝකයට ඇතුළුව තේරුම් ගත  යුත්තේ , ප්‍රජාවගේම සංස්කෘතික , බුද්ධිමය සහ කතිකාමය ප්‍රභේදයන් ආශ්‍රිතව යන්නයි.
·       පර්යේෂකයාගේ කාර්ය වන්නේ මනුෂ්‍යන් විසින් ගොඩ නගන ලද සමාජ යථාර්තය මතුකොට පෙන්වීමයි. එය මනුෂ්‍යාට ස්වාධීනව පවතින යථාර්තයක් නොව මනුෂ්‍යා විසින්ම තම එදිනෙදා ජීවිතය සදහා ගොඩ නගා ගනු ලබන්නකි. යථාර්තය මනෝ මුල එකකි. මිනිසා විසින් නිර්මාණය කර ගත්තකි.
මෙහි කේන්ද්‍රීය අදහස නම් , ස්වභාවික විද්‍යාවන් තුල වර්ධනය වූ අනුභූතික අදහස නම් , අවශ්‍ය සංශෝධන සහිතව , සමාජ හා මානවීය ලෝකය අධ්‍යනය කිරීමට යොදාගත යුතුය යන්නයි. සමාජය අධ්‍යනය කිරීමට විද්‍යාවක් අවශ්‍ය වන්නේ නම් , ඒ සදහා ස්වභාවික විද්‍යා උපක්‍රමය අනුගමනය කල යුතුය.
 එහෙත් සමහර චින්තකයින් මෙයට අභියෝග කොට සමාජය හැදෑරීමට නම් , සමාජ අධ්‍යනයට සුදුසු සමාජීය විද්‍යා ක්‍රම ගොඩ නැගිය යුතු  බව කියා සිටි. මෙහිදී
ප්‍රත්‍යක්ෂමුල ක්‍රමවේදය “ විද්‍යාවන්ගේ ඒකත්වය “  (unity of sciences ) වෙනුවෙන් පෙනී සිටි.
පශ්චාත්  - ප්‍රත්‍යක්ෂමුලවාදී ක්‍රමවේදය  වෙනුවෙන් පෙනී සිටියේ, විද්‍යාවන්ගේ සුවිශේෂත්වය (specificity of sciences )
මෑත කාලයේ මතුකර ගත් තවත් ද්විත්ව විභේදනයක් නම් ,
1.    වාස්තවිකත්වය - මනෝ මුලත්වය (objectivity - subjectivity )
2.    ව්‍යුහය - කතෘකයා (structure – agency)
ක්‍රමවේදය පිළිබද සිතා ගැන්මකට පර්යේෂකයා අදහස් කරන විට මෙම පියවර අනුගමනය කල හැක.
·       යෝජිත පර්යේෂණය සදහා සුදුසු විධික්‍රම මොනවාදැයි තාවකාලිකව තීරණය කිරිම. ඉන් පසු , එම විධික්‍රම වල ක්‍රමවේදාත්මක හා ඥාන මිමන්සාත්මක උපකල්පන හා පදනම ගැන සිතිය හැක. 
ප්‍රත්‍යක්ෂමුලවාදී ඥාන මිමන්සාව සහ  විධික්‍රමය
·       මෙම විධික්‍රමය සකස් විය යුත්තේ සමාජ ප්‍රපංචයන් පිළිබද කරුණු සෙවීමටය. (hard facts )
·       එම කරුණු විග්‍රහ කල හැකි කරුණු නම් මානනය ,පරික්ෂාව , සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණය යන ඒවා වේ.
·       එම විශ්ලේෂණ මගින් , සමාජ ලෝකය පිළිබද නීති , සහ පැහැදිලි කිරීම් සොයාගත හැකිය. මේවා ප්‍රත්‍යක්ෂමුලවාදයේ හැදින්වෙන්නේ දත්ත යනුවෙනි.
·       මේ සදහා යොදා ගන්නේ සමාජ සමීක්ෂණ , කුටුම්භ සමීක්ෂණ , ප්‍රශ්නාවලින්, සංඛ්‍යාත්මක ක්‍රම යනාදියයි.
·       සමාජ ලෝකය පිළිබද “ නීති වැනි පැහැදිලි කිරීම් “  (law- like explanations ) කල හැක්කේ එවිට යයි ප්‍රත්‍යක්ෂමුල සමාජ විද්‍යාව සිතයි.
·       තම උපන්‍යාස පරික්ෂා කිරීමට ප්‍රමාණික දත්ත අවශ්‍ය බව සිතති. “ හුදු දත්ත “ (brute data )  පිළිබද ඇත්තේ දැඩි විශ්වාශයකි. එම නිසා නියැදි සමීක්ෂණ සිදු කිරීමටත් , දත්ත විශ්ලේෂණය කිරීමට අවශ්‍ය දියුණු සංඛ්‍යාන විද්‍යාත්මක හා ගණිතමය ක්‍රම වර්ධනය කිරීමටත් ප්‍රත්‍යක්ෂමුලවාදය සමත්ව ඇත. 
පශ්චාත් - ප්‍රත්‍යක්ෂමුලවාදී ඥාන මිමන්සාව : ප්‍රපන්චවේදය සහ  විධික්‍රමය
·       මොවුන් උනන්දුවක් දක්වන්නේ දත්ත වලටම  නොව , දත්ත පිටුපසින් ඇති මනුෂ්‍ය අත්දැකීම ගැනය. වාස්තවික දත්ත පිටුපස ඇති පුද්ගලික ක්‍රියාවලිය සහ අධ්‍යාශත්වය (intentionality ) ගුණාත්මකව තේරුම් ගැනීමේ විධි ක්‍රමයකි. ප්‍රපන්චවේදයෙන් එය යෝජනා  කෙරේ.
·       මනුෂ්‍ය අත්දැකීම් පිළිබද ගැඹුරු විස්තර (thick descriptions ) ගොඩ නැගීම සිදු කරයි .
·       මෙම ප්‍රපන්චවේදයෙන් අවදාරණය කරන්නේ හුදෙක් පැහැදිලි කිරීම් නොව (explaining ) නොව සමාජ ලෝකය අර්ථකතනාත්මකව තේරුම් ගැනීමයි . මනුෂ්‍ය ක්‍රියාවන් එම ක්‍රියාවන් කරන පුද්ගලයින්ගේ දෘෂ්ඨි කෝණයෙන්ම අර්ථකථනය කිරීමයි.
·       මේ සදහා විස්තෘත සම්මුඛ සාකච්චා , කණ්ඩායම් සාකච්චා යන ගුණාත්මක පර්යේෂණ විධික්‍රම භාවිතා කල හැක.
·       මනෝ විද්‍යාව , හෙද විද්‍යාව , අධ්‍යාපන විද්‍යාව , සමාජ සේවා විද්‍යාව වැනි ක්ෂේත්‍ර වල පර්යේෂණ ප්‍රපන්චවේදයෙන් මග පෙන්වනු ලැබේ.
·       පර්යේෂකයින් බොහෝ විට තමන් අධ්‍යනය කරන මනුෂ්‍යයින් සමග කෙරෙන ගුණාත්මක සංවාද ශ්‍රව්‍ය - දෘශ්‍ය පට වල වාර්තා කර ගනී.
·       සමාජ ලෝකය අත් දකින මනුෂ්‍යන්ට තම ක්‍රියාවන් පිලිබදව කරන අර්ථකතන ඔවුන්ගේම පරිකල්පනය සහ වචන ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීමයි. මෙහිදී , (understanding ) තේරුම් ගැනීම යන සංකල්පය භාවිතා වන්නේ පර්යේෂකයා ලබන අවබෝධයම නොව ප්‍රධාන වශයෙන්ම සමාජ පාත්‍රයන් සතු අවබෝධයයි.
·       සමාජ ලෝකය පර්යේෂකයා තේරුම් ගැනීමේදී සමාජ පාත්‍රයන් කතෘකයන් වශයෙන් සැලකීමේ හා ඔවුන්ගේ මනෝ මුල අත්දැකීමට ප්‍රමුඛත්වය දීමේ ප්‍රපන්චවේදය සතු ඥාන මිමන්සාත්මක ස්ථාවරයද මෙයින් ප්‍රකාශයට පත් වේ.
·       ස්වභාවික වස්තුන් මෙන් නොව මනුෂ්‍යන්ගේ ඇති ලක්ෂණයක් නම් ඔවුන් සමාජ ලෝකයේ ක්‍රියා කරන ගමන්ම , සමාජ ලෝකයද අර්ථකථනය කිරීමයි. තමන්ගේ ක්‍රියාවන්ද අර්ථකථනය කරයි. පර්යේෂකයා කරන්නේද අර්ථකතනමය ක්‍රියාවකි. ප්‍රපන්චවේදයේ මෙම ක්‍රියාවලිය හැදින්වෙන්නේ “ අර්ථකතනාත්මක ලුපය “ (interpretative loop )
පශ්චාත් - ප්‍රත්‍යක්ෂමුලවාදී ඥාන මිමන්සාව : මානව ප්‍රජා ක්‍රමවේදය සහ  විධික්‍රමය
මෙම ක්‍රමවේදය සමාජ විද්‍යාව තුල වර්ධනය වුයේ 1970 ගණන් වලදී ඇමරිකාවේදීය  .
·       මෙය ප්‍රපන්චවේදයේ අභාෂය ලැබූ ක්‍රමවෙදාත්මක හා විධික්‍රමික ප්‍රවේශයකි. එබැවින් , මානව ප්‍රජා ක්‍රමවේදයේ විධික්‍රමය , ප්‍රපන්චවේදයේ විධික්‍රමයට සමාන්තරය.
·       මානව  ප්‍රජා ක්‍රමවෙදින් උනන්දු වන්නේ සමාජ පාත්‍රයින්ගේ එදිනෙදා ජිවිතයේ ඇති අත්දැකීම් , භාවිතයන් , පරිකල්පන සහ වචන තුලින්ම ඒවායේ අර්ථයන් තුලින්ම සමාජ ලෝකය තේරුම් ගැනීමටය.
·        මානව ප්‍රජා ක්‍රමවේදයත් ඥාන සම්පාදනය පිලිබදව ඇති මනෝ මුලික / කතෘ මුලික ව්‍යාපෘතියකි.
·       සමාජ පාත්‍රයන්ගේම කටයුතු , එකී ක්‍රයාකාරකම් වල පසුබිම , සන්දර්භය යනාදිය සම්බන්ධව සමාජ පත්‍රයින්ම සතු දැනුමට සාධාරණය ඉටු කල හැකි විකල්ප ක්‍රමවේදයක් හා විධි ක්‍රමයක් ගොඩ නැගීමයි.
·       එකී පාත්‍රයින්ගේ ක්‍රියාකාරකම් පිලිබදව ප්‍රභවයෙන්ම ලැබෙන විස්තර කිරීම් (first – hand accounts ) වූ කලි සමාජ විද්‍යාත්මක තේරුම් ගැනීමට ඇති ඉතාම වටිනා මුල ද්‍රව්‍යයි.  
·       මානව ප්‍රජාවේදයේ විධික්‍රම කතෘකයා කේන්ද්‍ර කොටගත් (actorcentric ) සහ ( subject – oriented ) ඒවාය.
·       ඒවා ගුණාත්මක විධික්‍රමයන්ය. මානව ප්‍රජා ක්‍රමවේදීන් ප්‍රමාණික දත්ත ගැන එතරම් විශ්වාශ තබන්නේ නැත.
·       මේ සදහා සම්මුඛ සාකච්චා හා සභාගීත්ව නිරීක්ෂණ යන විධික්‍රම දෙකම භාවිතා කරයි. මානව ප්‍රජා ක්‍රමවේදීන් සිතන්නේ සමාජ පාත්‍රයින් “ ප්‍රයෝගික න්‍යායවාදීන් “ (practical theorists ) බවයි.
·       තමන්ගේ සමාජ ලෝකය තේරුම් ගැනීමට සහ අර්ථකථනය කිරීමට අවශ්‍ය විධික්‍රම හා න්‍යාය ඔවුන් සතුව තිබේ. එය වූ කලි මනුෂ්‍යයින් සතු “ අප්‍රකාශිත ඥානයයි “
·       මානව ප්‍රජා ක්‍රමවේදී පර්යේෂණ අවදානය යොමු කරන්නේ සමාජ ජිවිතයේ විශාල සිදුවීම් වලට නොව , නොවැදගත් හා නොවටිනා දේවල් ලෙස අප සාමාන්‍යයෙන් සලකන ව්දිනේදා ජිවිතයේ සිදුවීම් වලටය. 
විධික්‍රමය පිළිබද පශ්චාත් නුතන දැක්ම
ප්‍රංශ ජාතික චින්තකයකු වූ ලියොතාද් පශ්චාත් නුතන  චින්තනයේ ආරම්භක හා ප්‍රමුඛ පෙලේ දාර්ශනිකයෙකි. “ මහා ආඛ්‍යාන ගැන සැක පහල කිරීම “ පශ්චාත් නුතනවාදයේ ප්‍රධාන ලක්ෂණයකි.ලෝකය තේරුම්  නැගීමේදී ප්‍රබුද්ධ යුගයේදී භාවිතා කල ලිබරල්වාදය , මාක්ස්වාදය , ඓතිහාසික භෞතිකවාදය , නවීකරණය වැනි නුතනත්වයේ මහා න්‍යායන් පශ්චාත් නුතනයෙදී වලංගු නොවේ.  
·       පශ්චාත් නුතනවාදීහු යුරෝපිය ප්‍රබුද්ධ යුගයේ දාර්ශනික  ඥාන මිමන්සාත්මක , ක්‍රමවේදාත්මක  හා සහ න්‍යායික උරුමය ප්‍රතික්ෂේප කරති.
·       මොවුන්ගේ විධික්‍රම තුල සමාජ හා ඓතිහාසික ක්‍රියාවලින් තෙරුන් කරන මහා විශ්වමය න්‍යායන් නැත. ඇත්තේ කුඩා ක්ෂුද්‍ර න්‍යායන් හා ක්‍රියාවලින්ය.
·       විද්‍යාව නැතහොත් දර්ශනවාදය විසින් ගවේෂණය කල යුතු උත්තරානුභුතික (transcental ) සතයක් හෝ නිෂ්ඨාවක් හෝ නැත , එවැනි සත්‍යන් සොයා ගැනීමේ නීති - රීති ද නැත යන්නයි. මෙම තර්කය සදහන්ව ඇත්තේ ඇමරිකානු දාර්ශනිකයකු වූ රිචර්ඩ් රෝටී 1979 දී ලියු (philosopy and mirror of nature ) “ දර්ශනවාදය හා ස්වභාව ධර්මයේ ප්‍රතිබිම්බනය “ නම් කෘතියේය.
·       හේතුපල සම්බන්ධතාවය මොවුන්  ප්‍රතික්ෂේප කරමින් , “ අන්තර් - පාඨනත්වය (inter - textuality )  යන අදහස හදුන්ව දී ඇත. මෙහි ප්‍රධාන පරිමාවන් දෙකක් පිළිබද හදුන්වා ඇත.
                                  I.            යම්කිසි නිශ්චිත හේතුවක් සහ නිශ්චිත ප්‍රතිපලයක් අතර ඍජු සම්බන්ධතාවයක් ඇත යන්නයි.
                               II.            එක හේතුවකට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට හේතුන් සහ පලයන් අතර ඇති සම්බන්ධතා වල බහුවිධ ඵලාත්මකත්වය යෝජනා කිරීමය. ඒ අනුව හේතුන් සහ ඵලයන් අතර සම්බන්ධතාවය තාවකාලික එකක්  බව පවසයි.
පර්යේෂකයා හේතු ඵල සම්බන්ධතාවය පැහැදිලි කරන්නේ , සරල හේතු ඵල සම්බන්ධතා රාමුවක සිට නොව හේතුන් ගණනාවක සහ ඵලයන් ගණනාවක අන්‍යොන්‍ය වශයෙන් සංකීර්ණ සම්බන්ධතා දැකිය හැකි විධික්‍රමික රාමුවක් තුලය.
·       පශ්චාත් නුතනවාදීන් උනන්දු වන්නේ සම්ප්‍රදායන් හා පිළිගත් නිතින්ගෙන් පිට ( ou t of the box ) ආකාරයේ පර්යේශනයන්ය.  ලිවිම පිළිබද න්‍යාය හා සම්පාදනය පිළිබද අත්හදා බැලීම් වලටය.
·       පවත්නා ඥානය , බැරෑරුම් විග්‍රහ , සියුම් තර්කන , පවත්නා ඥානය රැඩිකල් ලෙස ප්‍රශ්න කිරීම මෙම පශ්චාත් නුතනවාදීන්ගේ ලක්ෂණ වේ.
·       ප්‍රශ්න  වලට පිළිතුරු සපයනවා වෙනුවට අධිපති හා පවත්නා ඥානය අස්ථාවර  කරන ප්‍රශ්න ඇසීම පශ්චාත් නුතනවාදීන්ගේ ලක්ෂණ වේ.

( ජයදේව උයන්ගොඩ මහතාගේ ,  සමජියිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම. න්‍යායික හා ප්‍රයෝගික මග පෙන්වීමක් , යන කෘතිය ආශ්‍රයෙනි . )

5 comments:

  1. ම්ම්ම්.......
    මාරයි..

    මෙලෝ බෝලයක් තේරුං නෑ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සි.ජේ.... තෙරුන් ගන්න අමාරුයි තමා ... මේ විස්තර ඕන වෙන අය ඉන්නවා ...ඒකයි මෙහෙම share කරන්නේ

      Delete
  2. පර්යේෂණයක ක්‍රමවේදය පලවෙනි වතාවට සිංහලෙන් කියෙව්වේ මටත් මෙලෝ බෝලයක් තේරුනේ නැහැ. ඉංග්‍රීසියෙන් ඕක ඉගෙන ගනිද්දී ඔයාට වඩා චුට්ටක් විතර තේරුනා. දැන් මෙලෝ දෙයක් මතක නැහැ.

    ReplyDelete
  3. අපිආස කරන ගැඹුරු විෂයක් ගැන පොස්ට් එකක් ලිව්වට පස්සේ කියවන්න කෙනෙක් නැහැ කියල හිතුනම පොඩි කලකිරීමක් වගේ දෙයක් ඇති වෙනවා. නමුත් එක මැඩගෙන ලියන්න ඕන මොකද අපි ඒ ගැන ලියුවේ නැතිනම් ඒ විෂය පසුපරපුරට කාන්දුවෙන්නේ නැහැ.
    ඔබට ජය

    ReplyDelete
  4. ඔව්. ජිවන මේ subject එක ගැන ඉගෙන ගන්න , සිංහලෙන් තොරතුරු නෙට් එකේ නෑ. ඒක නිසා තමයි මට ඕන දේ ලියන්නේ නැතුව , විෂය කරුණු post එකක් විදියට දාන්න හිතුනේ , campus යන ළමයින්ට ලොකු ලොකු පොත් ගන්න සල්ලි නෑ.
    අමාරුවෙන් හොයා ගත් කරුණු කෙටියෙන් ගොනු කරන්න මම හිතුවා . research subject එක ඉගෙන ගන්න හැමෝටම මුලින් අමාරුයි. දැනටමත් මේ post එක සැහෙන්න බළලා තිබුනා comments නැති උනාට කමක් නෑ .

    ReplyDelete