Sunday, December 28, 2014

ලියන වග නම්....

           
        මේ අවුරුද්ද අවසන් වෙනකොට කවදාවත් නැති තරමට මට වැඩ වැඩි උනා. මන්ද...... ඒ මොකද කියල..... මාස දෙකක් විතර මං race එකක් දිව්වා, මටම හති. blog එකට එන්නත්, blog කියවන්නත් කාලය මදි උනා...... දැන් ටිකක් ඉස්පාසුවේ ඉන්නවා, ඒ වැඩ ඉවර වෙලා නෙමේ, මට ඇතියි කියල හිතුන හන්ද.....
         ආපහු හැරිලා බැලුව මා ආ ගමන් මග, ගොඩක් වැඩ එක්ක මං සාර්ථක වැඩ දෙක තුනකුත් කරලා කියල හිතට දැනෙනවා . රැකියාවට අනුව  මට යන්න තියෙන්නේ  හරිම අමාරු ගමන් මගක , විෂම චර්යා ඇත්තවුන්ට කතා කරලා මටම මහන්සියි. ඒත් සේවයක් වගේම පිනක් සිදු කර ගත්ත. 
       මිනිස් සන්තානය වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඒක අභියෝගයක්. සිතක් එක  විචල්‍යක පවත්වා  ගන්න බැ. හොද දේ දුන්නත්, හොයන්නේ නරක දෙයක්. නිවනට පාර පෙන්නුවත්, යන්න හදන්නේ අපායේ දොරටුව වෙත. මේ කර්තව්‍ය  මගේ හිතට ව්‍යායාමයක් , 
         මේ ගමන යන්න එලි කර ගන්න තියන පාර ඊට වඩා හපන්. ලැබෙන දායකත්වය අවමයේ තියෙන්නේ, සම්පත් මදිකම, අරමුණ අපැහැදිලිවිම, නියෝග තුල වූ  ප්‍රාදේශීය නොගැලපීම්, මේ හැම එකකම අවසානයේ දැනෙන පිඩාව ..... පහුගිය මාස දෙකදිම මට දැනෙන්න ගත්තා. 
          මේ දේවල් එක්ක මට තරහ යන්නේ නැ. හිනාවෙලා ආපු හැම ගැටළුවකටම විසදුම් හෙව්වා, විකල්ප හෙව්වා. සමහරක් වෙලාවට පාඩු සිදුවෙන තරමේ ප්‍රශ්න  වලට මුහුණ දුන්නා. ඒත් මං මගේ ගමන ගියා. තාමත් යනවා. 
        වෙලාවකට නින්ද ආවේත්  නැ, පෞද්ගලික ගැටළු නිසා නෙමෙයි, ඒකට පැහැදිලි හේතුවක් ඔළුවේ තිබුනේ නැ. ඒ තුල කලකිරීමක් දැනුනෙත්  නැ. මටම ඒ තත්වය තේරුම් ගන්න බැ. දවසින් දවස අළුත් උනා මිසක්.
          අළුත් අවුරුද්දට මුහුණ දෙන්න ඕන, අළුත් විදියකට, මං දැන් ලේස්ති වෙන්නේ ඒකට. වසරින් වසර  ....... විෂම චර්යා ඇත්තවුන්  පිළිබද වූ මගේ , පර්යේෂණ වෙනස් කරමින්, සැලසුම් සකස් කරන්න පටන් ගන්න ඕන. මට දැනෙන දේ හා කලයුතු දේ,  ස්වභාවික නීතියට අනුගතව , පරිපාලන නිතිය ඉස්මතු කරමින්, නියමිත රාමුව ඔස්සේ, යායුතු දිශානතිය තීරණය කරාවි. 
ලබන වසරේත්, මං ඔබ හමුවට එනවා. blog එක යාවත්කාලින කරන්න ඕන. මොනවගේ දේවල් ලියවේද දන්නේ නැ. ඒක, වෙනස්ම සංකල්පයක්, මට හිතිච්ච දේ ඔහේ ලියාවි . වෙනදා වගේම. ඉතින් මේ වසර අග මට නැවත ඔබ හමුවන්නට එන්න බැරි උනොත්, මේ සටහන ..... මේ වසරට අනුගත වෙමින්, ඔබට සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා. බ්ලොග්කරණය තුල පෙරළි දකින්න වෙනදා වගේම කැමතියි. 

Friday, December 26, 2014

චීනයේ ඉතිරි වූ ගැහැණු.....


           චීනයේ සංඝණන වාර්තා වලට අනුව වාර්තා වන්නේ අවුරුදු 25 ත් 29 ත් අතර සිටින කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයකු අවිවාහකව සිටින බවයි. 
           මේ වයසේ පසුවන පිරිමින් සැම විටම උත්සහ දරන්නේ , වයසින් අඩු හා තමන්ට වඩා උගත්කමින් අඩු කතුන් හා විවාහ වීමටය. චීනයේ පවතින මේ විවාහය පිළිබද අසමමිතික තත්වය හා කාන්තාවන්ගේ අවිවාහකව සිටීමේ ගැටළුව නිසා, රජය විසින් විශේෂ පියවර ගැනීමට සිදුව ඇත.
          මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත.බොහෝ විට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත්, කලබල කිරීමත් මගින් ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුල් කිරීමට රජය උත්සහ දරා ඇත.
           මෙම ඉතිරි වූ ගැහැණු ප්‍රිය මනාප, හොද රැකියා වල නියුක්ත හා උපාධිධාරී  උවද ගැලපෙන සහකරුවන් මුණ නොගැසිමෙන්, ඔවුන්ට තනිව සිටීමට සිදුව තිබෙනවා. 
           මේ හේතුවෙන් පළමුව පවුල තුල කොන්විමද , මාද්‍ය මගින් මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල වීමෙන්ද මේ කාන්තාවන් දැඩි පීඩනයකට ලක්ව ඇත. 
           අවිවාහක වයස්ගත කාන්තාවන් පවුල තුල සිටීමෙන් , පවුලේ පිරිමි , මෙය ලැජ්ජාවට කාරණාවක් සේ සිතා, නෑදෑයන් එකතු වන ස්ථාන වලට තම අවිවාහක සොයුරියන් රැගෙන යාමට මැලි කමක් දක්වයි.
             මේ අනුව බලන කල ලංකාවේ තත්වයද මෙබදු යයි මට සිතේ, නමුත් විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොමැත. මේ තත්වයට  කාන්තාවන් ලක් වීමෙන්, සමාජ අපචාර නම් වැඩිව ඇතැයි, මෙරට සංඛ්‍යා ලේඛන වලට අනුව වටහාගත හැක. 
      ලංකාවේද චීන රජය මෙන් මේ උපක්‍රමය යෙදුවොත්..... සාර්ථක වෙයිද මන්දා..... දන්නා අය කියන්නකෝ..... විවාහ කල්පමාව , පිරිමි සහකරුවන් කලහකාරී කිරීමෙන් විසදා ගත හැකිද කියා......

Wednesday, December 24, 2014

අසුබ දවසක්


හෙළන බැල්මක මන්මත්.... 
වියරු සිනාව දෙතොල රැදී.....
හිස් අහස දෙසට දෑත් ඔසවා.....
නළල බිම ඇන දන නමා.....
නුඹ දණ්ඩ නමස්කාර කරමින්......
සිප වැළද  මව් තොමෝ.....
යදින්නේ කුමක්ද......?

කම්පිතව කුරිරුව හඩයි වරු ගනන්.....
කදුළු සලමින්.....මව් තොමෝ.....

ගිනියම් දෑස් ......සොයයි හෙට දින 
තව බිල්ලක් ...... ගොදුරු කර ගන්න....
නුමට හෙට අසුබ දවසක්.......?

Friday, December 12, 2014

නිහිංසා නිහඩයි......

     
      නිහිංසට මේ දින වල අධික වැඩ ....... ඒ හින්දා blog අවකාශයේ සැරිසරන්න බැරි උනා.....මං ඒක කියල යන්නයි අද ආවේ...... මං ආපහු එනවා...... යාළුවනේ...... ඔයාල හැම දෙනාටම සුභම සුභ දවසක්.....

ගියාට මං එනවා.....
ආපහු එනවා......
සත්තයි එනවා.....

Monday, November 24, 2014

රැඩිකල්වාදියාගේ පෙම්වතිය



නුඹ මට ආදරේට දුන්න පොපි මල 
මගේ මල් බදුනේ......
තනියම හිනැහෙනවා....... 

රතු පාටින් ගෙට ගහපු පීත්ත පටිය......
හුළගට ලෙළදෙන වාරයක් පාසා.....
මට නුඹව සිහි ගන්වනවා......

මතකද අපි ආදරේ කරපු විදිය .....
මගේ පෙම්බරයාණෙනි.......
නුඹ දැක ගන්න බැරුව ගෙවී ගිය වකවානු....

මන් ඇඩුවේ නෑ.. දවසක්වත් .....
කවදා හරි නුඹ ... මං  ලගට එන බව 
දැනන් හිටිය....... 

නිවහල් වූ ලෝකයක් ...... ගොඩ නගා ගන්න බැරිව 
අපේ ලෝකේ ගොඩ නගන්න බැරි බව 
නුඹ මට කිව්ව......

මං  බලන් හිටිය .... නුඹ ආ පසු.......
අපේ ලෝකේ තුරුළු වන්න......
නුඹ ආව.......

තනියම නුඹ ආව.......මාව සනසන්න.......
නුඹ ආව...... එක් අදුරු දවසක....
අපේ ලෝකය ගොඩ නගන්න......

ඒ අදුරු රාත්‍රියේ ...... බියකරු සීනයක් ලෙස
නුඹව කුදලගෙන ගිය ඒ යකඩ සපත්තු 
අඩි සලකුණු.......    

මගේ සිහිනෙ තාමත් සැරිසරනව......
අදුරු මතකයන් අතර පළමුව .......
අවසන් රාත්‍රියක් වූ .... අපේ සැමරුම්.....

අල්මාරියේ ගුලි ගැසී අභිමානව  
නුඹ සුවද ...... මවෙත පවරා.....
ආදරය මේ යයි ...... කියා දුන්න.....

තනි වූ පෙම්වතිය මං.....
නුඹ වෙනුවෙන් පෙළගැසුණු.....
ලෝකය වෙනුවෙන් ..... ජිවත්වෙමි......


[ ඉස්සරදි කියවූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතාගේ නම මතක නැති නව කතාවක් ඇසුරෙනි ]






Friday, November 21, 2014

චින්තන විප්ලවය.....

            

    මට දැනෙන දේ ඔබට නොදැනෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුව කුමක්ද.....? අපේ රස වින්දනය පිළිබද ගැටළුවක්ද.....? එහෙම නැතිනම් අප ජිවත් වන සමාජ සංස්කෘතික වටපිටාවද එහෙමත් නැත්නම් මේ .... යටත් විජිත මානසිකත්වයද......?  මං ජිවත් වීමේ අරුත  සොයනවා. මගේ ඇස් දෙකෙන්. 
          මගේ අරමුණු ඔබට වඩා වෙනස්....... අඩු ගන්නේ අපේ ගෙදර පස් දෙනාගේම අරමුණු පහක් තියෙන්නේ...... ඒ ඇයි.....? මේවා  වරෙක ප්‍රජාතාන්ත්‍රිකයි  ,  නමුත් වරෙක රැඩිකල් . මේක එහෙම උනේ කොහොමද ....? 
            මං පොඩි කාලේ හිතපු විදියට නෙමෙයි දැන් හිතන්නේ, කාලෙන් කාලේ මගේ අදහස් වෙනස් උනා.....ටිකක් තේරෙන කාලේදී මං හිතුවේ කැම්පස් යන්න නෙමෙයි..... PTI කෙනෙක් වෙන්න. මොකද මට එදා ජිවිතයම උනේ ක්‍රීඩාව විතරයි.... අන්තිමේදී PTI කෙනෙක් වෙන්න බැරි උනාම  , මට යන්න ඉතුරු උනේ කැම්පස් එකට , මං මගේ දෙවෙනි කැමැත්තට ඉඩ දුන්නා . 
          ඒත් මගේ පලවෙනි රැකියා ස්ථානය  උනේ..... නිල දරුවන් සිටින තැනක්. එදා එතෙන්ට එද්දී, මං අද ඉන්න තැන දැකල තිබුනේ නැ. කාලයත් එක්ක මං මට ගැලපෙන තැනක රැකියාව නැවතත් ලැබුව .  මේ වෙද්දී මං කොයි තරම් අත්දැකීම් ලබල ඇත්ද කියල මටවත් හිතා  ගන්න බැරි උනා .  
         මේක තමා මගේ  ජිවිත පෙරලිය කියන්නේ. ජිවිතේ වරින් වර මුහුණ දුන් තත්වයන් මත, මගේ ජීවිතය ඉස්සරහට ගියා. මං හැමදාම කලේ මට හරියි කියල හිතෙන  දේ, ඒ තුල සම්ප්‍රධායන් වගේම,  වර්ධනීය අවස්ථාත් තිබුන. කොතනකටවත් සිමා වෙන්න මට අවශ්‍ය වුනේ නැ. වැදගත්ම දේ හිංසනය .......  , මා සැම තැනකදීම පිටු දැක්ක. 
                 මේ ආකාරයේ ජිවන රටාවක් මට තියෙද්දී, සමහරු මගේ කකුලෙන් ඇද්ද. වට්ටන්න උත්සාහ කලා. මං මගේ ගමන ගියා. මං ගියාට ඒ අය තාමත්   එතනමයි. හිමි කර ගන්න පුළුවන් බොහෝ දේ , මං  හිමි කර ගත්තා. 
          ජීවිතේට බොහෝ අවස්ථා ලැබීමෙන් මගේ අදහස් හා සිතුවිලි වෙනස් කියල තමයි අනෙක් අයට හිතුනේ. ඒත් .... මං දන්නවා, මේක තමයි සාමාන්‍ය කියල. 
           මේ තත්වයන්  මං වගේම සමහරක් විට ඔබත් අත්විදින්න ඇති. මට හිතෙන්නේ,   චින්තන විප්ලවය අප තුල ඇති වෙන්නේ, මේ ක්‍රියාදාමය ඔස්සේ වෙන්න ඕන. අප ලබන ජයග්‍රහණයන්, පරාජයන් .... අපව මෙහෙයවන බලවේග බවට පත්වෙලා. අපේ චර්යාවන් වෙනස් කම් වලට භාජනය කරනවා. 
             ඒ වගේමයි, සමාජ  බලපෑම්, ඒවාට අප වෙනස් වෙන්න ඕන ..... නිවැරදි නම් පමණයි. අහිතකර සැම ක්‍රියාවක්ම බලපාන්නේ, අපේ ඉදිරි ගමනටයි. හර්ද සාක්ෂියට අනුගත නොවන කිසිවක් , නොකරන්නේ නම්, පසුතැවිලි වීම් අඩුයි. 
   ස්ත්‍රී පුරුෂභාවය අනුව ..... මට දැනෙන්නේ.... ස්වභාව ධර්මය තුල ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම සාක්ෂාත් කරන්න අවශ්‍ය නම්, ස්ත්‍රීන්, පුරුෂයන් තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත යුතුය. ස්ත්‍රිය ..... ස්ත්‍රීත්වය අභිබවා නොයා යුතුයි. ලෝකය තනන්න . දෙපාර්ශවයේම සහයෝගය ලැබිය යුතුය. 
          අප මේ සියල්ල කරන්නේ මනුෂ්‍ය පැවැත්ම උදෙසා නම්, ඒ සදහා භාවිතා කල යුතු ක්‍රමවේද අනුගමනය කල යුතුය. බලය, නීතියේ ආධිපත්‍ය හරහා ජන සංහාරය නොකළ යුතුය. බලය සැමදා අප හට ආකර්ෂණය නොවේ. බලය පතා. මනුෂ්‍ය වර්ගයා බලහත්කාරයෙන් එකරාශි නොකළ යුතුය. 
          චින්තන විප්ලවය ...... ජන විප්ලවයක් කරා ගෙන යාමේ අදුරදර්ශී ක්‍රියාදාමයන් හෙලා  දැකිය යුතු වේ.   
          මගෙන් පටන් අරන් මං මේ සටහන අවසන් කරන්න යන්නේ..... ජන විප්ලවයන් ඇති වන්නේ මන්ද කියන්නයි ..... එකිනෙක ගැටෙන මනස්  අභිබවා යන්න දරන ප්‍රයත්නය  නිසා තමයි. මේ ගැටුම උත්සන්න වෙලා තියෙන්නේ. 
එබැවින්....... චින්තන විප්ලවයකට මෙන්න ආරාධනා.......

Wednesday, November 19, 2014

මගේ මල......



නොපෙනෙන දුරක පිපුණු .....
පිපී..... සුවද දෙන......
මට අහිමි ...... මගේ මල.....

අතපොවනු නොහැක මට 
නුඹ වෙතට......
අපි දුර ඈතයි......තවත් ....

වියලි බිමක පීදුණු....
ලතෙත්..... නුඹේ වත.....
සුන්දරව...... පෙනෙන විට.....      

මගේ මල ... මට අහිමි.....
බව දනිමි.......
අත්හැරලන්නට .....ලෝබ .....

නාදුනන සමනල්ලු  .....
නුඹ  වටා ..... සැරිසරන කල....
මගේ හිත රිදුම් දේ..... 

මට අහිමි ..... නුඹ  සුවද.....
දැනෙන විට .... මගේ හිතට 
මට අහිමි නුඹේ අත.....
එක වරක්වත්........
සිපගන්න ඇත්නම්........



Sunday, November 16, 2014

සැගවුණු අමුත්තා......



මෙයා මෙන්න මෙහෙමයි.....
කොන්ඩේ පස්සට පීරලා......
සුදු වතින් සැරසිලා......
ටිකක් විතර හිනාවෙලා...... ආඩම්බර පාටට....
මේ භුමියේ..... සැරිසරනවා......

හා....... කාටද කියන්න පුළුවන්......
කවුද මේ....... සැගවුණු අමුත්තා......

උදේ ඉදන්.... හොයනවා......
තාම හම්බ උනේ නැ....

මෙන්න දැන් ලගින් ගියා...... 
හැමෝම අදුනනවා......
පුළුවන් නම් හොයන්නකෝ.....
සැගවුණු අමුත්තා.......

ඔට්ටුයි... බැරුවට...... 
හෙව්වොත්..... තෑග්ග දෙගුනයි....
තව තව බෝනස්....

තරගය ඉවර වෙන්නත් ලගයි.....
දවසත් අවසානයි.......
ඒත්..... කෝ..... මේ සැගවුන අමුත්තා,.....

සැගවුණු අමුත්තා හොයන්න 
පටන් ගත්තට  
කෝ...... අවුරුදු උත්සවයක් නැනේ.....
කවුද කිව්වේ සැගවුණු අමුත්තා හොයන්න කියල......

කවුරුත් කිව්ව හින්ද......
අපිත් හෙව්වා.......

ඒත්...... එහෙම කෙනෙක් නැනේ.....
කි දෙනෙක්ගේ පිටට තට්ටු කලාද.....
මං නම් නෙමේ කියනවා......

එතකොට කවුද මේ සැගවුණු අමුත්තා.....
හා....... කියන්නකෝ බලන්න......

Saturday, November 8, 2014

විවාහය තුල දේශපාලනය

        

   විවාහය යනු කිළිටි නොකළ යුතු පුජා භූමියක් ලෙසයි , මා දකින්නේ..... එය එතරම් වැදගත් සංධිස්ථානයක්. දෙදෙනකු අතර හුවමාරු වන හැගීම් සහ දැනීම්.... විවාහය අර්ථ ගන්වන්න වැදගත් වනවා කියලයි මට නම් හිතෙන්නේ. 
         මෙය සංස්ථාවක්, සංකීර්ණ ගනුදෙනුවක්. එකාත්මිය විය යුතු කලාවක්..... ඒත් විවාහය එසේ පවතියිද.....? සමාජ වෙනස්වීම් හා ගෝලීයකරණයේ බලපෑම් විවාහය වෙත එල්ල වෙද්දී, මේ පුජනිය බව කෙලෙසීමට .... විවාහ සංස්ථාව දෙදරීමට බලපාන්නේද යන්න සොයා බැලිය යුතුය. 
         මා වෙත බලපාන්නා වූ සමාජ සංස්කෘතික තත්වයන් මත මා මේ සටහන විග්‍රහ කිරීමට පමණක් බලාපොරොත්තු වේ. නුතන මතවාදයන් හා වෙනත් වෙනස්කම් ඇත්නම් පැවසීම..... ඔබට බාරයි.
          විවාහය දෙදෙනකු අතර සිදුවන ගනුදෙනුවක් කියල මා වරෙක පැවසුවා. යම් විදියකින්, මෙය බල අරගලයක් ලෙස අර්ථ දැක්වීම සුදුසුද ..... මන්දා.....
       මා වර්තමානයේ දකින සමාජ තත්වය මත මෙය බලය බෙදීමේ විෂමතා මත අරගලයන් කරා යන තත්වයක් විවාහය තුල ඉස්මතු වෙලා කියල දැනෙනවා. වරෙක සල්පිලක තබා වෙන්දේසි වන භාණ්ඩයක් ලෙස විවාහය ලංසු තබන ආකාරයත්, කඹ ඇදිල්ලේ ක්‍රීඩාව සදහා වෙනත් මුහුණුවරක් ගන්නා ආකාරයත්, තවත් වරෙක විවාහය මාර්කට් වන සංකල්පයත්..... ඔබ මා හිදින මේ සමාජ තලය තුල විද්‍යමාන වේ. 
           මේවා විවාහය තුල නිලින ලක්ෂණ ලෙස පෙර සමාජ තත්වයන් තුල පැවතියත්.... අද වන විට, විවාහයේ අඩු පාඩු ප්‍රසිද්ධ කර මඩ ගැසීමේ කලාව දක්වා වර්ධනය වූ පහත් මට්ටමේ ඇගයීම්..... සමාජයට මුදා හැර ඇත. එම අදහස් සංසරනයත් සමග විවාහය යනු කුමක්ද....? සැබෑ අරමුණු මොනවාද යන්න අප ඇත්තෙන්ම සෙවිය යුතුද.......? 
          එයද පෞද්ගලික කාරණාවකි. තම විවාහය තිබිය යුතු ආකාරය මනෝ චින්තනය වන්නේ තමාටම බැවිනි. මෙම චින්තනය දෙදරා යාමේදී..... විවාහ ගැටළු ඉස්මතු වනවාද යන්නත් වරෙක සිතේ.හැමෝම දන්නා පරිදි , අපේ  ප්‍රසිද්ධ චරිත දික්කසාද කරා යාමට සිදු උනේ ..... මේ මනෝ රාජික විවාහයේ ප්‍රතිපලයන් භුක්ති නොවිදිම හේතුවෙන් වන්නට පුළුවන. 
         උදාහරණ ලංකා සමාජයෙන් ගත් කල ප්‍රසිද්ධ වූ කරනා කීපයක් මත පදනම්ව මා මෙසේ ලියමි. 
        ජනාදරී අද මෙසේ කියයි....... 'මාව මගේ ස්වාමිපුරුෂයා වෙළද භාණ්ඩයක් ලෙස යොදවා , මා හට සාධාරණය ඉෂ්ඨ කලේ නැ'....... ඔවුන් අද වෙන්ව වසයි..... හදගම නිහඩය. ඇය පමණක් කතා කරයි. දෙදෙනාම දක්ෂයින්ය. විවාහයේ අරමුණු වලට වඩා දෙදෙනාම ප්‍රබල වුයේ, වෙළද අරමුණු තකාය. විවාහයේ ප්‍රථිපල දරු දෙදෙනාය.ඔවුන් මේ ගැටුමේ ප්‍රථිපලයන් ..... භුක්ති විදින්නෝය. විවාහයේ යුධ ගිනි ඔවුන් වටා ඇවිලේ. 
       මට මතකයි..... සුදත්...... සත්‍යංගනීට මෙලෙස කිවා.... ' අපි දෙන්නා ගස් දෙකක් ..... ගහකට එතෙන්න ඕන වැලක්...' ඒ හන්ද වෙන්ව යමු..... ඒ ගෞරවාන්චිත වෙන්විමකි. ශක්තිමත් දෙදෙනකු  එකතු වූ කල විවාහය අර්ථ නොගැන්වෙන බව ඔවුන් නිහඩව වටහා ගන්න ඇති. ඔවුන් අද වෙන් වෙන්ව නව විවාහයන් භුක්ති විදිමින් සිටිති. 
        උදාහරණ දෙස බැලීමේදී, මේ විවාහයද.....කියල සිතන තරමට ගැටළු සංකීර්ණ බව පෙනේ. බල අරගලයන් කරා සටන් වැද ...... අවසානයේ ලැබෙන්නේ මොනවාද.....? කලකිරීම් පමණි. විවාහයේ නායකත්වය සැම විටම හිමි වන්නේ බිරිදටද, ස්වාමිපුරුෂයාටද.....? ස්ත්‍රී පුරුෂභාවය විවාහය තුල වැදගත්ද......? බලය බෙදීම විවාහයට වැදගත්ද....? මේ සියළු කාරණා එකතු වූ කල විවාහයද දේශපාලනීකරණය වී ඇති බව සිතා ගත හැක. 
         විවාහය තුල ක්‍රියාත්මක වන මේ නිලින දේශපාලනය, බල ලෝභය, ආර්ථික අරමුණු .... ඇති තාක් විවාහයේ උත්තරීතර පරමාර්ථ ඉටු වන්නේ නැත.  ශුද්ධ වූ විවාහය අපායක් වන්නේ, මේ දේශපාලනය විවාහ සංස්ථාව තුලට වැද්දා ගැනීම නිසා බව මට සිතේ. 



Thursday, November 6, 2014

බස හැසිරවීම

       


           රටක භාෂා කීපයක් තිබිය හැක. එය ලිඛිත හෝ කථිකද , මේ දෙකම එකක් වශයෙන්ද , භාෂාව පවතින ආකාරය දැකිය හැක. අපේ භාෂාව සිංහලයි දැන් අප කතා කරන්නේ අපේ භාෂාව ගැනයි.
        සිංහල යනු අලංකාරවත් බස් රටාවකි. එය අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නීති තුල පවතින්නා  වූ රටාවකි. අප මේ රටාවට හුරු වන්නේ , අතීතයේදී නම්, බොහෝ විට පන්සල මුල් කර ගෙනයි. මා පිළිගන්නා ආකාරයට අතීතයේ පිරිවෙන් අද්‍යාපනය තුලින් සිංහල භාෂාව අපේ පැරණි උගතුන් නිසි ලෙස හැදෑරු බවට සාක්ෂි විද්‍යමාන වේ. එදා සිංහල භාෂාව නිසි ලෙස ඔවුන් හදාරා ඇත. 
         එහෙත් වර්තමාන පාසල් අද්‍යාපනය සිංහල ඉගැන්වීම  සදහා වැඩි උනන්දුවක් නොදක්වයි.අවශ්‍ය පොතපත නොමැතිකම ,  නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැතිකම පාසලේදී සිංහල භාෂාව සදහා ලබා දී ඇති කාලය මදිකම , උගත්කම ලත් ගුරුවරු ළමුන්ට උගන්නන්න නොදන්නා කම යන හේතු මත සිංහල භාෂාව මේ වන විට නිසි ලෙස වර්තමාන පරපුර හසුරු වන්නේ නැත.
             තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශීය භාෂා එකතු කර ගනිමිනි. අතීතයේද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ.එය අපට වෙනස් කල නොහැක එබැවින්, සිංහලය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත.      
          භාෂාවක් අවශ්‍ය වන්නේ අදහස් හා  හැගීම් ප්‍රකාශනයටය. එය පහසු ලෙස හැසිර වේ  නම්, අප සමාජයට ගැටළුවක් නැත.එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකිම පිලිබද වටිනාකමක්ද  ඇත.එය වෙනමම ප්‍රශ්නයකි. ඉතිහාසගත සියළු දේ සංරක්ෂණය කරන අපට භාෂාවද සංරක්ෂණය කරගත යුතු වන්නේ, අපගේ අනන්‍යතාවය රැක ගැනීමටය. 
           සමාජ දියුණු වී, තාක්ෂණය  හා මාද්‍ය ලෝකය පුළුල් ඌවට පසු  භාෂාව වේගයෙන් වෙනස් වීම් වලට භාජනය විය. ලිඛිත භාෂාවේ වැදගත්කම අඩු වී,කථික භාෂාවද ලිඛිත වන්නට විය. 
        වයස තේරුම් නොමැති උදවිය භාෂාව හරි හැටි නොදැන, කුමක් හෝ කියවන්නට , ලියන්නට පටන්  ගත් යුගයක ආරම්භයකට සිංහළය  දැනට ප්‍රවිෂ්ඨ වී ඇත.
      ලෝකය වෙනස්වීම් වලට භාජනය වනවා සේම, මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක. මේ නිසා උපකාරක පද මෝඩ් වීමද , සන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක.
      භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද ඉස්සරහට එය එසේ නොවන්නේය. අද්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකොට , භාෂාව නම් තව දුරටත් රැකියා නොහැක්කේය. නිසි බස ඉගෙන නොගැනීම හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය. සුදුසු දේ නොකළහොත් සිංහළය තව දුරටත් ඉතිරි නොවන්නේය. 
           නිවැරදි බස හැසිරවීම ඇත්තෙන්ම අපට අවශ්‍යද......? ඔබේ මතයට ඉඩ.....

Friday, October 24, 2014

ඇදහිලි කල්ලි



ඇදහිලි කල්ලි යනු මොනවාද යන්න සමහර විට ඔබ දන්නවා ඇති..... සමාජයේ සැරිසරන අපට.....විවිධ වෙස් ගැන්වීම් වලින් යුතු ඇදහීම් කල්ලි මුණ ගැසේ. ඒත් .... මේ මොනවාද යන්න අප ගැඹුරින් සිතන්නේ නැත. මං කුඩා කාලයේ ඉදන් දන්නා එක් කල්ලියක් තමා මේ.... සායිබබා ඇදහීම .... මේ සදහා සංවිධානය වූ පිරිසක් එකල ලංකාවේ සිටියහ..... ඔවුන් සායිබබා වන්දනා මාන කරන්න බැතුමතුන් සේ ඉන්දියාවට ගිය අයුරුත් , ප්‍රසිද්ධ කරුණකි. වැඩිපුරම මේ වන්දනාවට යොමු උනේ , වෙළද ව්‍යාපාරිකයන්ය. දැන් සායිබබා නැත. එහෙත් තවමත් වන්දනාවේ අනුගාමිකයින් යනවා යයි මා වර්තමානයේ අසා නැත. 

එහෙත්, දැන්..... සෙන්ෂුයි කලාව නමින් මේ ව්‍යාපාරිකයන් පිරිස හසුරුවමින්, චීන වන්දනාවක් ප්‍රචලිතව ඇත. දීප ව්‍යාප්ත මට්ටමින් වැඩමුළු පවත්වා, සාමාජිකයින් බඳවා ගැනීමක් මෙමගින් සිදු කෙරේ. නමුත් එම වැඩමුළු සදහා මුදල් අය කරයි.....පත්‍රිකා මුද්‍රණය කරමින්, පිළිම වන්දනාවක් සිදු කරමින්.... යම් ව්‍යාපාර කටයුත්තකට අනුව, සිදුවන වන්දනාවක් දෝයි..... වරෙක මට සිතේ. 

සෙල්ල කතරගම අයිතිහාසික පුරවරය මුල් කර ගනිමින්, තවත්, ව්‍යාපාරිකයින් කොටසක් පුජා වට්ටි තබමින් ලක්ෂ්මි වන්දනාව සදහාද මෑතකදී හුරු වී ඇති ආකාරයක් තවත් මානයකින් මා හට පෙනේ..... මෙයට අමතරව වෙනත් වන්දනා හා ඇදහීම් ඇත. ඒවා ඔබ දන්නවා ඇත. මේ ..... මට මතක උදාහරණ කීපයක් පමණි.

මෙන්න මේ ආකාරයට කල්ලි ගැසී යම් නායකත්වයක් මුල් කර ගනිමින්, අපේ සාමාන්‍ය ජනතාව වන්දනාමාන කරන අයුරු හා නොවිදිමත් වැඩ පිළිවෙලකට ගැතිවී ඇති අයුරු මේ අනුව මා හට සිතිය හැක. 

ඇදහිලි කල්ලි යන්න මොනවාද යන්න විද්‍යාත්මකව නිර්වචනය කරන විට මේ සංකල්පය ආකාර දෙකක් ගනී.

1. බදවා ගනු ලැබුවන් හෝ සාමාජිකයන් සංවිධිත මනෝ විද්‍යාත්මක සහ සමාජමය පෙළඹවීම් ක්‍රියාවලින්ට ලක් කරන ඇදහිලි කල්ලි හා ඒ හා සමාන කණ්ඩායම්ය.

2. වානිජමය ලෙස අලෙවි කරනු ලබන විශාල කණ්ඩායම් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් වෙනත් 'ස්වයං අභිවුර්ධි' වැඩසටහන් හා මනෝ විද්‍යාව පදනම් කරගත් විවිධ සංවිධාන වේ. 

මොවුන්ගේ අරමුණ හා සම්බන්ධ  දීර්ඝ කාලින ගනුදෙනුවක් සිදු  නොවේ. ඔවුන් වඩා කැමති වන්නේ, තමන් විශ්වාශ කරන සාමාන්‍යයෙන් වසරක් හෝ දෙකක් සමීපව කටයුතු කිරීම හා තම පාඨමාලා මිලදී ගැනීමත්, නව සාමාජිකයින් බදවා ගැනීමත්ය. මේ දෙවර්ගයම කණ්ඩායම් සිතුවිලි ප්‍රති සැකසුම් ක්‍රියා මාර්ග අනුගමනය කරයි. 

මෙම ඇදහිලි කල්ලි බලහත්කාරී මානසික බලපෑම් හා චර්යාත්මක පාලන ක්‍රම සහිත සමෝධානිත වැඩසටහන් සකස් කරති. මෙය කරනු ලබන්නේ විවිධ දර්ශනයන්, න්‍යායන්, භාවිතයන් වටා ගොඩ නැගුනු පුද්ගල ආකල්ප වෙනස් කිරීමට ඉතා පැරණි පෙළඹීම් විධි භාවිතා කරමිනි. මේ සදහා උපායන් හා උපක්‍රම අවශ්‍ය බව මේ අති දක්ෂ මානසික හසුරුවන්නන් අත්දැකීමෙන් දනී. 

මා ඔබට ඉදිරිපත් කලේ ඇදහිලි කල්ලි පිළිබද මුලික කරුණු කීපයක් හා ඒවායේ ස්වභාවය ඉදිරිපත් කිරීමක් පමණි. මේ වන විට ඔබත් නොදැනුවත්ම මෙවැනි කල්ලියකට හසුව ඇත්දැයි හා සමීපතයන් ගොදුරුව ඇත්දැයි සැලකිලිමත් වන්න. මෙයත්, එක් සමාජ ව්‍යවසනයක් බව පෙනී යන්නේ, ජනතාව මුලාවීම් වලට ලක්වූ අවස්ථා, මා මාද්‍ය මගින් දැක ඇති නිසාය . මේ නිසා යම් යම් අපයෝජනයන් හා සමාජ විරෝධී ක්‍රියා සිදුව ඇත. දැඩි මානසික බලපෑම් වලට ලක්වීමෙන් පෞරුෂය බිද වැටි ඇත. මෙය තවත් අපරාධකාරී චර්යාවකට හේතු විය හැකි කරුණක් වන  බව ගැඹුරින් සිතීමේදී වැටහේ. 

මිනිසා වටා අවිද්‍යාව ගොඩ නැගෙන යුගයක...... සත්‍ය සොයා යාමට මග සලසා ගන්න නිවැරදි දැක්මෙන්.......

ඇදහිලි කල්ලි පිළිබද තවත් තොරතුරු ඉදිරි දිනක ඔබ වෙත නැවත ගෙන එන්නම්..... 

එතෙක් ...... ඔබ දන්නා උදාහරණ ආශ්‍රිතව අදහස් දක්වන්න....

Tuesday, October 21, 2014

රූපලාවන්‍ය සදහා වියදම් කල ඇමතිනිය


            රූපලාවන්‍ය කටයුතු සදහා දේශපාලන මුදල් වැය කල ජපාන වෙළද හා කර්මාන්ත ඇමතිනිය වන යුකෝ ඔබෝචි හට අගමැති දෝෂාරෝපණය කිරීම හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදු  විය. පක්ෂයේ දේශපාලන අරමුදල් අත්තනෝමතිකව භාවිතා කිරීම ඇයට එල්ල වූ චෝදනාවය. 

        මෙම සිදුවීම නිසා වත්මන් අගමැති, ෂින් ෂෝ අබේ  වෙත දැඩි බලපෑමක් මාද්‍ය වෙතින් සිදු විය. පක්ෂයේ අරමුදල් දේශපාලන නොවන අරමුණු සදහා වියදම් කල නොහැක. 

           පසු ගියදා , එරට මාද්‍ය වාර්තා කරන ආකාරයට ඇය සහ ඇගේ කාර්ය මණ්ඩලය ඇමරිකානු ඩොලර් දහස් ගනනක් වැය කර රූපලාවන්‍ය උපකරණ මිලදී ගෙන ඇත. එසේම, ටෝකියෝ  නුවර සංචාරය කිරීම සදහා ඩොලර් දස දහස් ගානක් වියදම් කර ඇත. මෙය මාද්‍ය මගින් අනාවරණය වීමත් සමග ඇය ඉල්ලා අස්වෙන බව මාද්‍ය වෙත ප්‍රකාශ කර ඇත.     

        ජපානයේ දේශපාලන සභාගිත්වය සදහා වැඩි කාන්තා නියෝජනයක් ලබා දීම අගමැති විසින්  අරමුණු කරගැනීමේ ක්‍රියාදාමය මේ හේතුවෙන් පසුගාමී තත්වයට වැටෙන බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

          අගමැතිවරයා පසුගිය මාසයේ, සංශෝධනයට ලක් කරන ලද ජපාන කැබිනට් මණ්ඩලයට අළුතින් පත් කරන ලද කාන්තා නියෝජිතයින් පස්දෙනා අතර ඇයද සිටියාය. එසේම අනාගත අගමැතිවරියක වීමේ හැකියාවද ඇය වෙත වූ බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

        අගමැතිගේ ඉලක්ක සපුරා දීම තමන්ට නොහැකි වූ බැවින් ඉල්ලා අස්වෙන බව, සිය නිල ප්‍රකාශයේදී ඇය දන්වා සිටියාය. 

        එසේම .... ජපාන ආර්ථික සුරක්ෂිතතාව සහ කාන්තාවන් සදහා හොද තැනක් ලබා දීමද , අගමැතිවරයාගේ මුලික අදහස වී තිබුන බව ඉල්ලා අස්වූ යුකෝ ඔබෝචි තව දුරටත්  පවසා සිටියාය. 

ජපානය යනු වේගයෙන් දියුණු වූ රටකි. එරට ආර්ථික ප්‍රතිපත්ති දැඩි බවින් යුක්ත වීම හේතුවෙන්, හොද ආර්ථික ස්ථාවරයක් ගොඩ නගා ගෙන ඇත. අනවශ්‍ය වියදම් ජපන් වැසියන් කවදත් නුරුස්සති. මුදල් මිස සෝබන ක්‍රියාකාරකම් වලට ඉඩක් නැත. 

          හිටපු ඇමතිනියගේ  මෙම රුපලාවන්‍ය භාණ්ඩ මිලදී ගැනීම, කිසිවකු අනුමත නොකළ අතර ප්‍රශ්න  කිරීමට ලක්වීමේදී..... ඇය, නිහතමානිව , රටක ප්‍රබල අරමුණු වලට ඉඩදී ඉන් ඉවත් විය. 
      
      එහෙත්...... මේ ආදර්ශය අප රටේද පැවතියේ නම් , මෙලහකට ලංකාව සිංගප්පුරුවක් වත් වී ....... අවසානය.  

Friday, October 17, 2014

බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම්


          නොබෝද බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම් ලබාදීමේ පලවෙනි අදියර වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කෙරින. රුපියල් මිලියන හැත්තෑපහකට වැඩි මුදලක් වැය කරමින්, ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය හා එක්ව, දුරකථන අටක් මේ වන විට සවිකොට ඇත. 
     රැදවියන් වෙනුවෙන් පෞද්ගලික ගිණුම් ආරම්භ කරමින්, ඇගිලි සලකුණු ලබා ඔවුන් ලියාපදිංචි කිරීම  පළමුවෙන්ම සිදු කෙරේ. එම ඇගිලි සලකුණු මගින්, ඔවුන්ගේ ගිණුමට සම්බන්ධව, තමාට නියමිත ඩේටා ප්‍රමාණයට ඇමතුම් ලබා ගත හැක. එම ඇමතුම් ස්වයංක්‍රියව පටිගත වන අතර , සතියකට විනාඩි දහයක් තුල දුරකථන අංක තුනකට කතා කිරීමේ හැකියාව ඇත. 
          මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් වෙතින් සැම ශ්‍රීලංකා රැදවියකුටම රුපියල් විසිපහක මුදලකුත්, විදේශීය රැදවියකුට රුපියල් දාහක මුදලකුත් බැරකර ඇත. අනතුරුව, රැදවියන්ගේ ගිණුමට නැ හිත මිතුරන්ට ශ්‍රීලංකා ටෙලිකොම් හරහා මුදල් බැර කිරීමේ හැකියාව ලබා දී  ඇත. 
       රැදවියන්ගේ මානව හිමිකම් රැකිම සහ දුෂණ වංචා අවම කිරීමේ එක් ක්‍රමවේදයක් ලෙස මෙය හැදින්විය හැක.   මේ අනුව නීති විරෝධී ජංගම දුරකථන සංසරණය අවම කිරීමට හැකි වන අතර, රැදවියන්ගේ මානසික තත්වය නගා සිටුවීමටත්, දුර බැහැර සිටින, නැ හිත මිතුරන් තමන්  බැලීමට ගෙන්වා නොගෙන අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමටත් හැකියාව ඇත. 
       මෙම දුරකථන භාවිතය හරහා බන්ධනාගාරය තුල ..... බන්ධනාගාර සංස්කෘතියේ යම් වෙනස් වීමක් සිදුවෙන බව හා ඒ තුල වූ ක්‍රියාකාරිත්වය  නොබෝ කලකින් අපට දැනගත හැක. මෙය සුභවාදී දැක්මක් අනුව ආරම්භ කලද...... ඉදිරි තත්වය ..... පසුවට අප විමසීමක් කොට බලමු. 

Saturday, October 11, 2014

රාණිගේ ලෝකය

රාණි.......
නෝනා.......


අහිංසක දෑස් දිගු  කරන්...... වරෙක ඇය බලන්නීය....... උදේ පාන්දරට විදියට බැස කියක් හරි හොයන්නෙ ....ඇය ජීවිතය ජිවත් කරන්නටය..... වැසිකිලි සංකීර්ණයේ නවාතැන් ගත්තේ ඇයට උන්හිටි තැනක්, නැති නිසාවෙනි..... 


පළමු සැමියා හා විවාහකය. , එහෙත් ඔහු ඇය හැර  ගොසින්ය. දෙවැන්නත් හැර ගොහින්ය. පුතෙක් සිටි..... ඔහු හිතුවක්කාරයෙකි. මවට ඌ ගැන කැක්කුමක් ඇතත්, ඌට එසේ නැත, වරෙක මවට ඔළුව පැලෙන්න පොල්ලකින් ගසා ඇත්තේය. තවත් වරෙක අත මිරිකා කඩා ඇත්තේය. මේ මොහුගේ හැටිය. ඉතින්....... රාණි. සියල්ල ඉවසා ඉස්පිරිතාලේ දවස් දෙක තුනක් ඉදල ...... ඉන්න බැ කියල හිතුනම ටිකට් බලෙන් කපා ගෙන නැවතත් පාරටම යන්නීය. කියක් හරි හොයා ගත්තම පුතාටත් මොනවා හරි ගොහින් දෙයි. ඒ ඇගේ හැටිය. පුතු සමග කවදාවත් තරහ නොගන්නිය.


වරෙක ඇය මට මෙසේ කීවාය.


නෝනා...... පුතා ගැනු ළමයෙක් එක්ක යාළුයි. ඒකි හොද නැ....වෙන කොල්ලොත් එක්කත් යනවා. 
මං ඕක .......කරන්න එපා කිව්ව, මු අහන්නේ නෑනේ. 
ඒකි පස්සෙන්ම යනවා ...... දැන් ඒකිත් එක්ක ඉන්නේ.


කිහිප දිනකින් ඇය මට නැවත මෙසේ කියන්නීය.

නෝනා...... මං කිව්ව .... ඌට .... කතරගම කාලෙන් පස්සේ අරකිව බන්දල දෙන්නම්...... එතකන් කීයක් හරි හොයා ගන්නකම් ඉන්න කියල ......


මාස දෙක, තුනක් .... ගියා.....



නෝනා....... අරකිට දැන් ළමයෙක්ද කොහෙද හම්බ වෙන්න ඇවිල්ල, මාස දෙකයිලු.....ඒකි පුතත් එක්ක රණ්ඩු වෙනවලු...... 



වෙන කොල්ලොත් එක්කත් යනවලු....... 



නෝනා...... අරකි......ඉස්පිරිතාලේ නතර කරගෙන , අර හම්බ වෙන්න ඉන්න ළමයට මොකද්ද වෙලාලු. 



ආයෙත් දවසක 

පුතා එක්ක තරහ වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගිහින්...... පුතා ගැහැව්වා කියල ආරන්චියි....



නෝනා ......... පුතා...... දැන් අරකිගේ නංගිත් එක්ක යාළු වෙලා..... හැබැයි..... ඒකි නම් අක්කට වඩා හොදයි...... මං කැමතියි.... ඒකිට නම්.....



 ඇගේ දුක.... සැප...... වරෙක  සියල්ල මා වෙත කියන්නීය........ 



කොන්ඩේ පීරා පාට පාට මල් ගසා, කොන්ඩ කටු ගසා, පාට පාට සාරි අදින්න රාණි හරිම කැමතියි....... හැබැයි...... තරහ ගිය දින වලට කොන්ඩෙත් නොපිරා..... අවදි උනා විගසින් පාරට බහින්නේ , කුණු හරුප දෙක තුනකුත් කියා ගෙනය. 



දින ගානකින් ඇය ආවේ නැ...... මං ඇහුව ඇයි......?



නෝනා .....මං ඉස්පිරිතාලේ ඉදල ඊයේ ආවේ....... පුතා මට ගහල. බෙහෙත් ගන්න ගියාම නතර වෙන්න කිව්ව. 



මං භූමිතෙල් බිව්වා..... නෝනා........ තවත් දිනක කියන්නීය.....



මේ ඇගේ හැටිය. ඈ.... ගැන ......නෑයෝ ගැන තවත් වරෙක කියන්නීය.



ඊයේ මල ගෙදරක ගියා .... නෝනා......මල්ලිගේ දුව කොල්ලෙක් එක්ක යාළු වෙලා..... අම්මට අහු උනා. කියල ..... ඒකි කදුරු ඇට කාල මැරිලා....



තවත් දිනක ඇය කියන්නේ..... 



අදත් මල ගෙදරක් නෝනා...... අපේ...... නැන්දගේ දුගේ දුව...... ළමයෙක් හම්බ වෙන්න ගිහින්...... මරුන. අපි එහේ ගියා......



මේ රානිගේ ලෝකයයි....... මේවා අසන්න කෙනෙක් නැත. එහෙත්, මේ සියල්ල ඇය මවෙත පවසයි...... 



දවස පුරාම ඇයට වැඩ නැත. කාගේ හරි කුලී වැඩක් කරදී සියක්, දෙසීයක්. කෑම පිගානක් හොයා ගත්තොත් ඇයට ඇති.....සමහරු වැඩ අරන්.... සල්ලි නොදෙන අවස්ථාත් ඇත. එදාටත් .... නඩුව මටය. 



කෑම ටිකක් හම්බ උනාම එකෙන් ටිකක් කා ඉතිරි ටික පුතාට හරි, ඒගොල්ලන්ගේ බබෙක් ලැබෙන්න ඉන්න කාට හරි ගෙනියන්න .....රාණි ඔතා ගනී. මේ ඇගේ සිරිතය. වරෙක ඇය ..... ඇයට වඩා ..... අනිත් අය ගැන සිතන්නිය.  දුක් ගන්නීය.



සවස් කාලය තමයි, ඇගේ විනෝදජනක කාලය මොකද ..... අර හම්බ කරපු සල්ලි වලින් කාලක් ගසා සුර් වී..... සින්දුවක් කියා නටන්නේ එවිටය.... මේකට වෙලාවකට ඇය බස් ස්ටෑන්ඩ් එක තෝරා ගනී...... ඇගේ නැටිල්ලට , එතන ඉන්න කොල්ලෝ කුරුට්ටන් .... කුමක් හෝ කියා ඇයව අවුස්සා ගනී....... අන්තිමට ඈ .....ශුද්ධ සිංහල ඉවර කර ..... ඇදිවත ද උනා දමා. ඔවුන් පසුපස දිව යයි...... 



ඇ ...... බෙහෙවින් කළුයි..... එනිසා  කොල්ලන් ඇයව හදුන්වන්නේ   කාක් .... යන අනවර්ථ නමෙන් . කාක්....... කි.... විගස ඇය ආවේස වේ. 



එවිට ඇය..... පොලිසියට කුදලාගෙන යයි....... ප්‍රසිද්ධ ස්ථානයක බිමත්ව අශෝභන ලෙස හැසිරීමේ වරදට , ඇයට උසාවි යන්නටත්.... හිර ගෙදර යන්නටත් සිදුවේ. මේ ඇගේ ජීවිතයයි.

රාණි හිත හොද එකියකි. ඇය කෙදිනකවත්, හොරකම් කරන්නේ වත්..... වෙනත් දුසිරිත් වල දෙන්නෙත් නැත. ඔවුන්ගේ.....ලෝකයේදී, ඇගේ වෙනස එයයි...... ඇය කරන එකම වරද, හවසට පොඩ්ඩක් ...... තොල ගා ගන්න එකය. 

දිනක්.... ඇගෙන් තව නඩුවකි.

නෝනා....... බලන්න නෝනා....... මං පෝන් එකක් ඉස්සුවා කියල , අරුන් මාව පොලිසියට අල්ලලා දෙන්න හදනවා......

එදින වැසිකිලි සංකීර්ණයේ කාල ගෝට්ටියකි. එතන නිදා හුන්..... වෙනත් නොදන්නා කෙනෙකුගේ පෝන් එකක් , ඔහු නිදි අතර නැති වී ඇත. ගත්  එකකු නැත. ඔවුන් රාණිව ඒකට අල්ලා ගෙන ඇත. ඒත්...... ඇය ගත් බවට සාක්ෂි කිසිත් නැති බැවින්, පැමිණිල්ලකුත් නැත.

මං ආයේ යන්නේ නැ නෝනා එතනට ....... උන් මගේ රෙදිත් විසි කරලා.....

දවස් දෙක තුනක් යනකොට නැවතත් රාණි වැසිකිලි සංකිර්නයේම ලැගුම් ගනී. තරහ උන් යාළුවී ඇත. 

රාණිගේ ලෝකය, අපේ ලෝකයට වඩා වෙනස්ය. ඔවුන්ට අනන්‍ය වූ උප සංස්කෘතියක් ඇත. ජිවන රටාවක්, හැසිරීම් රටාවක් ඇත. එකම දීපයක ජිවත් වන මොවුන් අපට වඩා වෙනස් වුනේ කෙසේද යන්න මං කල්පනා කලා. 

ඇය ද්‍රවිඩ එකියකි. ඇය හා අපි වෙන් උන සීමාව මේකද කියලත් හිතෙනවා, හේතුව නම් නොතේරේ. ඒත්..... ඇගේ අව්‍යාජත්වයට මං ඇළුම් කලෙමි. ඇය මට දක්වන බැදියාව , වරෙක සිත පාරවන්නකි. වරෙක ඇය සමහර ප්‍රශ්න වලට මුහුණ දුන් ආකාරය බලපුවම , දැඩි ප්‍රතිපත්ති මත කටයුතු කිරීම, අප තරමටම සාමාන්‍යය. 

එසේ නම් රාණි..... ඇයි අපට වඩා වෙනස්.......අපේ පරම්පරාව තරමට ඇයගේ පරම්පරාවද ගමන් කර ඇත. එකම සමාජ සාධක වලටම්  මුහුණ දී ඇත. ජාතින් අතින් වෙනස් වූ පලියට , ඇයි රාණි වෙනස්.....?  


Monday, October 6, 2014

පියාඹන කාර් ඇවිත්







         ඉගිලෙන කාර් යනු පියාඹන පිරිසි නොවේ . ඒවා විද්‍යා ප්‍රබන්ධත් නොවේ . සත්‍ය වශයෙන්ම ඉගිලෙන්නටත් පාරේ රෝද උඩ යාමටත් හැකි, ද්විත්ව හැකියාවක් සහිත  කාර් විශේෂයකි . ඇමෙරිකාවේ මැසේව්සේට්ස් ජනපදයේ පිහිටි ටෙරාෆුජිය සමාගම මෙම නිපැයුම ඉදිරිපත් කොට ඇත . 

         මාද්‍ය පවසන්නේ මෙම රථය වෙළද පොලට ආ පසු නව මාර්ග නීති සදන්නට සිදුවන බවයි . මෙම රථයට ඉතා වේගයෙන් ගොඩ් බිමේත් අහසේත් යා හැක . රථයට ඇත්තේ ආසන දෙකකි , රෝද හතරකි , හකුලන පියාපත් යුගලකි . අත්හදා බලන අවස්ථාවේදී එය මිනිත්තු 8 කදී , අඩි 1400 ක් උඩින් පියාසර කරඇත . 

            මෙම රථයක් නිපදවීමට යන මුදල ඇමරිකානු ඩොලර් 279,000 . දැනට මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් , ගැනුම් කරුවන් 100ක් පමණ ඩොලර් 10,000ක් පමණ තැන්පත් කරඇති බව වාර්තා  වේ. ටෙරාෆුජිය සමාගම පමණක් නොව මේවන විට ඕලන්ද සමාගමකුත් 'පැල් ' නමින් පියාඹන මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .

Friday, October 3, 2014

ආචාර්ය උපාධිය හා ජනපති බිරිද

        
   
        සිම්බාව්වේ පළමු කත වන ග්‍රේස් මුගාබේ, ලබා ගත් ආචාර්ය උපාධිය ආපසු ලබාදෙන ලෙස ලෝක ප්‍රකට ලේඛක වෙන්ජරායි හෝව් දැනුම් දී සිටි. පසුගිය මාසයේ සිම්බව්වේ සරසවියෙන් මුගාබේ මහත්මියට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත. 
            ඇය .... සිම්බාව්වේ සරසවියේ ලියාපදිංචි වීම ගැනද, විවධ මත පලවී ඇත. ආරංචි අන්දමට මුගාබේ මහත්මිය විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී, මාස දෙකක්වත් නැති බව, වාර්තා වේ . 
           මේ ගැන පුළුල් පරික්ෂණයක් කරන ලෙස සිසුහු ඉල්ලා සිටිති. මෙයට විරෝධතා දැක්වූ, වෙන්ජරායි හෝව්, ප්‍රකට නවකතාකරුවකු , කවියකු හා සිම්බාව්වේ සරසවියේ උපාධිධාරියකු මෙන්ම ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද වේ. මේ වන විට ඔහු නොර්වේ හි වාසය කරයි. 
           සිම්බාව්වේ තත්වය මෙසේ වුවද ලංකාවේ තත්වය නම්..... මෙයට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ ආචාර්ය උපාධි කඩ ඇත. මුදල් ඇත්තන් හටද , උපාධි ලේසියෙන් ලබා ගත හැක. මෙහේ බැරි නම් විදේශයකින් හරි උපාධියක් සපයා ගත හැක. ඇත්තටම මේ විදියට ලබා ගන්න උපාධි.....  මොකටද....? ආත්ම තෘප්තියක් හා සේවයක් මේ තුල ඇත්ද....? 
         සිම්බාව්වේ මේ නාමික උපාධියට විරෝධතා දැක්වුවද , ලංකාවේ නම් , ලොකු බලපෑමක් කල නොහැක. ගත්ත උපාධි අවලංගු කලා යයි අරන්චියක්ද නැත. 
මට නොතේරෙන එකම දෙය මෙයයි....... අපට උපාධි මොකටද......?

Wednesday, October 1, 2014

සීසර් කපිල

         
        මේක වෙලා නම් දැනට අවුරුදු දහතුනක් වත් ඇති.... මගේ මතකයේ විදියට , ත්‍රාසජනක අත්දැකීම් වලටත් අපට අහම්බෙන් මුණ දෙන්න වෙනවා කියන එක තමයි මම මේ සිද්දියෙන් තේරුම් ගත්තේ. සමහර අයගේ නොසැලකිල්ලෙන් හා වරදින් එදා අපි කට්ටියම මේ දේට  මුණ දෙන්න උනා. අපි ඉදහිට හමු උනාම තාමත් මේ සිද්දිය ගැන මතක් කරනවා. මොකද දැන් අපි විසිරිලා, සමහරු මිය ගිහින්, තවත් අය විශ්‍රාම ගිහින්. ඒ මොනවා උනත් මේක නම් මගේ මතකයේ හැමදාම තියේවි. 
         දවසක් අපි සහෝදර නිලධාරිනියකගේ පියාගේ අවමගුල් උත්සවයට යන්න ලේස්ති උනා. මල ගෙදර තිබුනේ බදුල්ලේ. උදේ ගිහින් හවස එන්න පුළුවන්. ඉතින්, අපේ ආයතනයේ මල ගෙදරට සභාගි වෙන්න කැමති උන අය ගමනට ලේස්ති උනා. මරණාධාර සංගමයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා, යන්න වාහන ගාස්තු, ගෙනියන ද්‍රවය සදහා හොද ආධාරයක් ලැබුන. 
       මතක විදියට පහලවක් විස්සක් යන්න හිටියා.මාත් එක්ක කාන්තාවෝ දෙන්නයි. අනෙක් පිරිමි අය. උදව්වට වගේ අඩු මුදලට තවත් නිලධාරියෙක් එයාගේ හයියස් වාහනය දෙන්න කැමති උනා. හැබැයි එයත් ගමනට සභාගි උනා. මේ වාහනය නම් දවස් ගානක් තිස්සේ අපේ ආයතනයේම තමයි තිබිල තියෙන්නෙත්. යන්න ලේස්ති උන අනෙක් අය නම් ...... නම් දරාපු සමාජ සේවකයෝ, ඒ වගේම නම් තියාපු , වැඩකාරයෝ ටිකකුත් මෙතන හිටියා. වයසට ගිය අහින්සකයෝ දෙතුන් දෙනෙකුත් හිටියා. 
           ඔන්න ගමන ආරම්භ කරලා හම්බන්තොට හරහා වැල්ලවාය දක්වා වැන් රථය ගමන් කරා. රථය තුල බිස්කට්, සිනි තේකොල, ඉඩ මදි අයට සක්ක ගහන්න පොඩි බංකු  පුටු දෙකක් එහෙමත් තිබුන. යන්නේ මලගෙදරකට උනත් ගමන පටන් ගන්නේ අපි හොදටම හිනා වෙලා, එක එක්කෙනාට ඇනුම් පද කියල, උසුළු විසුළු කරලා එහෙමනේ. කාටවත් අඩන මුහුණු තිබුනේ නැ, ඒවා ඔක්කොම දාගන්නේ මල ගෙදරට බහින වෙලාවට. 
         ලුණුගම්වෙහෙර පහුවෙලා ..... තණමල්විල කඩපිලත් පහුකරලා වාහනය ඇතට ඉගිල්ලුනේ සතුටු සිතින් කියල කියන්න පුළුවන්, මොකද කාලෙකට පස්සෙනේ මේ වගේ ගමනක් හරි නිදහසේ යන්න මේ එකතු වෙලා තියෙන්නේ. නිදහසේ ගමන් ඇරඹු අපේ වාහනය පසු කරලා එක පාරටම යෝද  ටිපර් එකක් පාර හරස් කරලා නතර කලේ, විදුලි වේගෙන්, අපි ඔක්කොම අන්දුන් කුන්දුන් වෙලා හිටියේ, මොකද්ද මේ බාධාව කියල හිතා ගන්න බැරුව. 
          එක පාරටම ටිපර් එකෙන් බැහැල ආවේ. දෙකයි හතරේ දඩු පොලු රැගත් සද්ධන්ත පොරවල් හතරක්. ඉස්සෙල්ලම  ඩ්‍රයිවර් සිට් එකේ උන්නු අපේ සහෝදරයා ඇදලා , බිමට දැම්මා. යතුර වාහනයේ තිබිලම ගලව ගත්තා. අනිත් අය අර ගෙනාපු දඩු පොලු වලින් වැන් එකේ වීදුරුවලට පහර දුන්නේ අපිව මරන්න වගේ. බයෙන් බිරාන්ත වෙලා වටපිට බලද්දී දැක්කේ, අපේ අය අර කට්ටියත් එක්ක ගහ ගන්න හැටි. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. මං මිට කලින් කවුරුවත් හැබැහින් ගහගන්නවා දැකල නැ. අනේ අපි දෙන්න පැහැර ගන්නද දන්නේ නැ , මේ අය ආවේ කියලත් හිතුන. මොකද ඒ කාලේ ඒ පැත්ත ...... ඒ දේවල් වලට නම් දැරුවනේ. කට ඇරන්, ඇස් ලොකු කරන් වැඩි වෙලා බලන් ඉන්න උනේ නැ. වැන් එක අයිනෙන් ආපු එක පොරක්....එකපාරටම කැ ගහන්න ගත්තා.
 ........ බැහැපල්ලා වාහනෙන් අපි උඹලට මොකුත් කරන්නේ නැ...... කියල ගුගුරන්න ගත්තා. 
        ඒ වෙනකොට විදුරු කටු අපේ ඇදුන් වලයි ඇගෙයි......  දඩබඩ   ගාල අපි දෙන්න වාහනයෙන් බැස්සා. බහින කොටත් තව ගහ ගන්නවා. ගුටිකන්න බැරුව සමහරු පදුරු වලට ඇදෙනවත් දැක්කා, වයසක අයගේ බඩටත් ගහනවා දැක්කා. බිම බලන කොට , නිකන් ඉදපු අපේ කකුල් වලත් ලේ.... විදුරු කටු වලට කැපිල තියෙන්නේ දන්නෙම නැතුව..... වටපිට බලන කොට අපි ආපු වැන් එක එක ආපු පාරේම ඉගිල්ලිලා ගියා. ඒ පස්සෙන් අර ටිපර් එකත්, පිඹල ගියා. 
          ඔක්කොම වෙලා ඉවරයි..... උන් ගියා අපි පාරේ ..... අන්දුන් කුන්දුන් වෙලා බලන් හිටිය. මේ මොකද උනේ කියල හිතා ගන්න බැරුව. කට්ටියම පදුරු අස්සෙන් මතුවෙලා එකතු උනා. ගහගත්තු අය දත් කුරු කෑවා. හොදට ගහ ගන්න බැරිඋන හින්ද.....

    යමු පොලිසි...... අපට ගහල වාහනේ පැහැර ගත්තා කියල කියන්න. 
    වැඩක් නැ......ඒ ෆිනෑන්ස් එකෙන් වාහනේ ඉස්සුවේ. 

          අයිතිකාරයා දැන් තමයි කතාව කියන්නේ. ෆිනෑන්ස් ගෙවන්න බැරි උන හින්ද වාහනේ ආයතනයේ හංගල  තිබුන බව එතකොටයි .... අපිත් දැනගත්තේ. මොන එහෙකට උස්සන්න තිබුන වාහනයක් අපට දුන්නද මන්දා ...... දැන් ඉතින් කාපු පරිප්පුව මදිනේ...... එක එක්කෙනා අර මනුස්සයට බනින්න ගත්තා. 
     වෙන මොනවා කරන්නද යන්න ආපු ගමන යන්නත් එපැයි. මළගෙදරට නොගිහින් බැනේ...... ඒ වුනාට අපට නම් යන්න තිබුන උනන්දුව අඩු උනා. මල ගෙදරට ගෙනියන්න ගෙනාපු සිනි , තේකොලත් අරුන් අරන් ගිහින්. 
         පාර මැද නතර වෙලා , ආයෙත් දෙතුන් පැත්තට බැන වදිමින්. ඔන්න ආපහු අපි බස් එකක නැගල, තණමල්විල ටවුන් එකට ආව. ආයෙත් වාහනයක් කතා කර ගත්තා , කුලියට.....මල ගෙදර යන්න. 
       යමින් ගමන කතා කලෙත් වෙච්ච ඇබැද්දිය ගැන. කවුද ඒ මිනිස්සු..... ඇයි අපි ගැන දන්නේ නැතුවද අපට ගැහුවේ. අපරාදේ අපි ගුටි කෑවෙ. වාහනේ ඉල්ලුවානම් අපි බැහැල දෙනවනේ. ඔහොම ගහන්න ඕනෑද...? 
           මල ගෙදර ලගින් බහින කොට ..... මිනියට පන්ශුකුලේ දෙනවා. ඒ ගොල්ලන්ටත් වැඩේ ආරංචි වෙලා. ආපු ගමන් හති ඇර ඇර අපි  දවාලට කෑම කෑවා . මිනියට අවසන් ගෞරව දක්වලා,රෑ වෙන හින්ද අපි ආපහු හැරුන. 

පසු සටහන 

      එහෙන් මෙහෙන් මතක්  කරලා ආපු සිසර්ලගෙන් , එක්කෙනෙක් දෙන්නෙක් අදුන ගත්තා. මේක ලීඩ් කරලා තියෙන්නේ සීසර් කපිල, අනෙක් තුන්දෙනා එයාගේ ගෝලයෝ. මළගෙදරට වාහනය යනවා කියල වෙලාවත් එක්ක ඔත්තුව දීල තියෙන්නේ , අපේම කෙනෙක්. මේකේ එන්නේ නිල ඇදුම් අදින කොටසක් නිසා තමයි ඒ ගොල්ලන් ගේමට ලේස්ති වෙලා තියෙන්නේ. වාහනය ගන්න අමාරු නිසා තමයි, බය කරලා ගත්තේ, ඉතින් අපි දන්න එකක්යැ, උස්සන්න තිබුන වාහනයක් බව. 
        ඉතින් ගුටි කාපු තරහ කට්ටියගේම හිතේ තිබුන. කොයි වෙලේ හරි මේ ගොල්ලොත් ගේමකට සෙට් වෙන්නයි ලේස්තිය. ඔහොම යද්දී සිසර්ල කියන්නෙත් හොද ක්‍රියා කලාපයක් ඇති උදවිය නෙමේනේ. ඒ ගොල්ලන්ටත් හතර වටේටම නඩු . වෙලාව බලලා අහුවෙච්ච එක එක්කෙනාට කට්ටිය රිටන් එකත් දුන්නා. දැන් ඔක්කොම හරි.
         තව අවුරුදු තුන හතරක් ගත වෙද්දී, සීසර් කපිල නම් වම්බොට්ටා කල්ලියේ සාමාජිකයෙක් නිසා. පාතාලයෙන්ම මැරුන් කෑවා. අනිත් දෙතුන් දෙනත් ජිවතුන් අතර දැන් නැතිළු. ඒ ගොල්ලන්ගෙම කට්ටියනේ. අර උස්සපු වාහනයේ අයිතිකාරයත් විශ්‍රාම ගොස්  අසනීපයෙන්ම මැරුණා. ඒ සිදුවීම් දාමයේ මතකයන් විතරක් තාම අපි ගාව තියනවා. 
      දැන් අපි සැලකිලිමත්, ගමනක් යනකොට රෙන්ට් එකට ගන්න වාහනයට ෆිනෑන්ස් ඇරියස් තියනවද කියල හොයා බලන්න. 

Sunday, September 28, 2014

සුනෝ ..... ආයේ එන්නෙ නෑ

        

     
           මං පුංචි කාලේ ඉදන් හැදී වැඩුනේ සැප සම්පත් මැද , අපේ පවුලේ අටදෙනෙක් සිටියා. අක්කා, අයියා, නංගිලා, මල්ලිලා, අපි හැමෝටම අම්මයි,තාත්තයි කිසි අඩුවක් කලේ නැ. ජිවිතේ දුකක් කියල දෙයක් දන්නෙත් නැ. තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක්, අම්මා අපිව බලාගෙන ගෙදර හිටිය, මමයි, අක්කයි, ඉස්කෝලේ ගියේ, අගනුවර ප්‍රසිද්ධ පාසලක, හොස්ටල් එකේ නතර වෙලා , තමයි ඉගෙන ගත්තේ . 
අපේ ගම දකුණේ, ප්‍රසිද්ධ නගරයක්. විදේශිකයන් බැලූ, බැලූ අත සැරිසරනවා . හැම වෙලේම ඇස ගැටෙන්නේ, ඔවුන්ගේ  අපුරු දර්ශන .... 
          අපි හොද ඉස්කෝලෙක ගියාට අපි දෙන්නටම ඒ තරම් ඉගෙන ගන්න බැ. උනන්දුවක් තිබුනෙත් නැ. අම්මල අපි ඉගෙන ගන්නවද කියල බැලුවෙත් නැ. කොහොමින් හරි, සාමාන්‍ය පෙළ අසමත් වෙලා අපි ගෙදර නතර උනා. කවුරුවත් අපිට බැන්නෙත් නැ. ඒ කාලේ හැටියට අපේ පැත්තේ , සල්ලි තියන පවුල් වල ළමයි, ඉහලට ඉගෙන ගත්තේ නැ.කරුමෙටද මන්දා කාටවත් ඉගෙන ගන්න දක්ෂතාවයක් තිබුනෙත් නැ . මොනවා උනත් ඉංග්‍රීසි ටිකක් නම් අපිට ඉතුරු උනා. 
               අනෙක් නංගිලා පොඩියි. අයියයි, මල්ලිලාටයි උනෙත් ඒ ටිකමයි. ඒ ගොල්ලන්ටත් තාත්තා ඕන තරම් සල්ලි දුන්නා. ඒ හින්ද එයාලත් එතරම් අද්‍යපනයක් ලැබුවේ  නැ. අන්තිමට මල්ලිලා නම් තාත්තගේ වෙළද ව්‍යාපාරයට එකතු උනා. 
         සල්ලි අත ගාල පුරුදු  එයාල, හම්බ කරනවට වඩා කරේ වියදම් කරන එක. තාත්තත් කඩේ ඒ ගොල්ලන්ටම බාර දීල, ගෙදර නැවතුනේ විවේක ගන්න. පුතාල හොදින් ව්‍යාපාරේ කරනවා ඇතැයි සිතා, ඒ පැත්තවත් බැලුවේ නැ, අම්මටත් ගානක් උනේ නැ. හැමදේම අඩුවක් නැතිව ගෙදරටම ලැබුන, අම්මට කොහොමත් ඕව තේරෙන්නෙත් නැ. 
       අපි පාරට අවොත් හැම වෙලේම දකින්නේ විදේශිකයෝ කියල මං මුලින්ම ඔයාලට කිව්වනේ. ඔන්න අපේ නංගි සුද්දෙක් එක්ක යාළුවෙලා. ජර්මන් කාරයෙක්ලු , නංගි ලස්සනයි. වයස 22ක් විතර, ඒ මනුස්සය ගෙදරට ඇවිත් කතා බහ කරලා නංගිව කසාද බැන්ද. ටික දවසකින් ජර්මනියට එක්කන් ගියා. සුද්දෙක් බදින එක අපේ අපේ පැත්තේ සාමාන්‍ය සිදුවීමක් නිසා, කාටවත් ඒ ගැන ගානක් නැ. ඒ ගොල්ලන් නම් දැන් බොහොම හොදින් ඉන්නවා. ළමයි දෙන්නෙක් එක්ක , ළමයිනුත් දැන් ලොකුයි. 
       එන්න ... එන්නම අපේ ව්‍යාපාරේ වැටුනා. වියදම් මිසක් අදායමක් නැ. වරද මල්ලිලාගේ. තාත්තත් දැන් වයසයි. මේවට මහන්සි වෙන්නත් අමාරුයි. මල්ලිලා අන්තිමට ව්‍යාපාරය වහල දැම්මා. ව්‍යාපාරය කිව්වේ, අපට තිබුනේ හෝටලයක් සහ  වයින් ස්ටෝර්ස් එකක්, ඒකෙ බලපත්‍රයත් කැන්සල් උනා. අන්තිමට හැමෝම ගෙදර නතර උනා. ඉතුරු සල්ලි ටිකත් ටික ටික වියදම් උනා. ජර්මනියේ ඉන්න නංගි අපට ජිවත් වෙන්න සල්ලි එව්වා. ඒ හින්ද ලොකු මදි පාඩුවක් තිබුනෙත් නැ. 
        ඔහොම කල් යද්දී නංගිලා දෙන්නෙක්ගේ විවාහ කටයුතුත් සිදු උනා. මල්ලිලා දෙන්නත් බැන්ද, අනේ මමයි, අක්කයි, අයියයි , නංගියි , තමයි ගෙදර ඉතුරු උනේ.නංගි හොයන්නෙත් සුද්දෙක් බදින්න. එයා ලංකාවේ කෙනෙකුට කැමති නැ. ඒ උනාට තාම බැන්දෙත් නැ. අයියට බදින්න උවමනාවක් නැ. රස්සාවකුත් නැ. අක්කටයි, මටයි, කපුවො දම්මල හොයපු නැති දිහාවක් නැ. ඒත් ඉරනම්කාරය අහලකවත් නැ. 
      කාලෙත් එක්ක යන්තම් අවුරුදු පනහ පහුවෙද්දී අක්කා නම් බෙල්ජියම්කාරයෙක් බැන්ද, අක්කගේ වාසනාව. දැන් මං ගෙදර. අක්කත් යන්න ගියා. ඔය අතරේ අක්කා මට මනමාලයෙක් හෙව්වා. බෙල්ජියම් වලින්. මටත් දැන් පනහට ලගයි. තව හිටියොත් මාව අනාත  වෙනවා. තාත්තා ඒ වෙනකොටත් මිය ගිහින්, අම්මා එකතැන ආර්ථික ප්‍රශ්න වටේටම. ඉස්සර වගේ අපට සල්ලිත් නැ දැන්. කාටවත් රස්සා නැ. මොකද කරන්නේ ....... අක්කා හොයපු මනමාලයට කැමති වෙන එක විතරයි දැන් තියෙන්නේ . 
        මනමාලය ලංකාවට ආව.... මාව කසාද බැන්ද , එයා ආපහු ගියා. මාව ගෙන්න ගන්නවා කිව්ව. මාස තුනකින් මාත් බෙල්ජියමට ගියා. එයා  කලින් බැදලා දික්කසාද වෙච්ච්ච කෙනෙක්. රස්සාවෙනුත් විශ්‍රාම ගිහින්, එයා ඇත්තටම මට ආදරෙයි , ඒ වුනාට මාව ගෙන්නුවේ හැම අවුරුද්දටම මාස තුනයි, එයත් මාස තුනක් මෙහේ. මං කොච්චර කිව්වද මාව දිගටම එහේ තියා ගන්න කියල. විසා හදන්න එයාට සල්ලි නැ කිව්ව. මාව  ලංකාවේ ගෙයක් බද්දට අරන් ඉන්දුවා, ගෙට බඩු අරන් දුන්නා.එයා එනකන් මං තනියම හිටිය. අපි හැමදාම ස්කයිප් එකෙන් කතා කලා. මට මාසෙට හතලිස් දාහ ගානේ වියදමට එව්වා. 
     මං හිටියේ අවදානමක , එයාට අසනීප තිබුන. ප්‍රෙෂර් , කොලෙස්ටරෝල් තිබුන.  කොච්චර කිව්වද මට ගෙයක් අරන් දෙන්න කියල. මටම කියල , එයාට මොනවා හරි උනොත්, මට මොකද වෙන්නේ කියල හැම වෙලේම හිතුනා. ඔය විදියට අවුරුදු දොළහක්ම ගෙවුන. 
     දවසක් මං එයත් එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්න කොට එක පාරටම එයාගේ  , කැ ගැහිල්ලක් එක්ක ස්කයිප් එක නතර උනා. ඊට පස්සේ නම් එයා කවදාවත් මට කතා කලේ නැ. මං කීප සැරයක්ම එයාගේ ෆෝන් එකට ගත්තා, එයා කතා කරන්නේ නැ. අන්තිමට කලින් කසාදෙ පුතාට මං කතා කරලා කිව්ව, සුනෝ ගැන බලන්න කියල . .       සුනෝ මැරුන කියල. එයා මට කිව්ව. දවස් හතරකට පස්සේ ගෙදර තිබිල මිනිය හම්බ වෙලා තියෙන්නේ, පොලිසියට සැකයි කියල තාමත් පරික්ෂනලු. 
      මට සුනෝ බලන්න අන්තිම වතාවටවත් යන්න බැරි උනා. එයාගේ මරණයේ අවසන් කටයුතුත් කරලා. මට බිරිද විදියට කිසි දෙයක් කරන්න බැරි උනා. මං ඇඩුව. මගේ අසරණකම මතක් උනා. මට දැන් බෙල්ජියම් වලට යන්න සල්ලි නැ. සුනෝ එවපු හැම සතයක්ම මට වියදම් වෙලා. කීයක්වත් ඉතුරු කරල නැ. 
        එයා එවපු සල්ලි වලින් මං කලේ, කාපු බීපු එකයි , විසා හදා ගන්න දේවාල ගානේ ගිහින් බාර හාර වෙච්ච එකයි විතරයි .
         අක්කා මට සල්ලි එවන්නම් කිව්ව. මගේ උරුමයවත් ඉල්ලා ගන්න මට බෙල්ජියම් වලට යන්න වෙනවා. ඒවත් කොහොම ලැබේවිද දන්නේ නැ. 
           සුනෝ ආයේ එන්නේ නැ. මං තනි උනා. මට ආපහු ගෙදර යන්න බැ. ජිවත් වෙන්න ක්‍රමයකුත් නැ. සල්ලි ගොඩක් එක්ක , සැප සම්පත් පැතුව මට වෙච්ච දේ ...... 
        මට වෙච්ච දේ  ..... මේ ලංකාවේ කාටවත් වෙන්න එපා කියල මං කියන්නේ , මගේ කතාව ඔයාලට දැන ගන්නයි. 


අසුව දශකයේ සිට මේ දක්වා විකාශනය වූ සත්‍ය කතාවකි , ඇගේ අනාගතය  කෙබදු ලෙස ගත වේදැයි, අවිනිශ්චිතය. මේ.....  මා දුටු හා ඇ  පැවසු ඇගේම කතාවයි......


Saturday, September 20, 2014

අන්ධකාර තාරකාව .......


සුසුමක දියවුණ කදුළු බිඳුව.....
සුපසන්ව නොදිලුණු තරුවක රඳවන්න 
මං පැතුවා..... අදුරු ලොවකට සහන් එලියක්ව 
වෙතැයි ..... පහන් තාරකාවක්.......මං නුඹට 

උනා අත්වැටක් ජිවිත තරණයට....
කිසිවක් නොඉල්ලාම.......
නුඹ ලගින් සිටියා....හද බැතිව..... බැතිබරව......
පිළිවෙත්..... නිබඳ  නුඹ වෙනුවෙන් සිත දරා.....

දුක අබියස සතුට ..... තිලින කරමින්.....
ආදරය කප්පරක් ඇතිරුවා.......
ගිනියම්ව වියරු වැටෙන විට.......
සිසිලසක්ව...... සෙවන  මං නුඹට.....
නිරතුරුව.... සාදමින් ..... අඳ දෑස අබියස 
කන වැලද අල්ලමින්...... මං නුඹව සසර පුරා 
ඇවිද්දනවා ...... අනේ..... සත්තයි..... 

නුඹේ ලෝකයට මං පෙත් විවර කරන්න ....
මං මගේ ලෝකයම කැපකෙරුවා........
ඒත්...... මං ඉල්ලුවේ නුඹෙන්.....
මට මගේ ජීවිතය පමණයි........

නොපෙනෙන ඉමක නිවී නිවී දැල්වෙන 
ඈතයි.....කියල සිතෙන අපේ ලොව 
මන්දාකිණියෙනුත්......... එහායි තියෙන්නේ කියල.......
මට හැමෝම කිව්ව.......


Tuesday, September 16, 2014

කදුළු බින්දු



දුක නුඹ ම,පසුපස ඇවිදින්
හිත රිදවා .....මගේ නෙත් අතර
රැදවූ කදුල ..... හිත හිරි වට්ටනවා .....

ඔබ ඇතින් ඇතට ....යන බව
දැනෙනනවා මට ......

කදුල නුඹ මං  ලග තනියට ........
හිත සුසුම්ලනවා ..... නුඹේ මතකය
පෙළ ගැසෙන විට ......

මැවූ සුන්දර ලෝකය .....
කැදැල්ලකට තුරුළු වන්නට

එත් ..... ඒ ..... විමානය ...
සුළන් කපොල්ලක තැනු  බව
කෙලෙස සිතන්නද .....

කදුල ....නුඹ තවමත් මං  ලග ......
තනි රකිවී හැමදාම......

Friday, September 12, 2014

ආදරයට ලද තිළිණය

        
    පැරා ඔලිම්පික් ධාවන ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් , මෙයට වසර දෙකකට උඩදී, අත්වැරදීමකින් තම පෙම්වතියට , පෙම්වතුන්ගේ දිනයේදී වෙඩි තබා මරා දමා ඇත. සිද්දිය සිදුවුයේ දකුණු අප්‍රිකාවේ සිල්වටු ප්‍රාන්තයේ , වික්ටෝරියා නගරයේ තම අධි සුඛෝපභෝගී නිවසේදීයි.


            තම පෙම්වතා පුදුම කිරීමට , ඇය පෙම්වතුන්ගේ දිනයේ උදේ පාන්දරම , අනවසරයෙන් ඔස්කාගේ නිවසට ඇතුළු වී ඇත. හදිසියේ කලබල වූ ඔස්කා , වහා  ක්‍රියාත්මක වී , පිට පිට වෙඩි ප්‍රහාර හතරක් තැබීමෙන්, ඇය එතනම මිය යන ලදී. පසුව , එසේ පැමිණ ඇත්තේ ,තම පෙම්වතිය බව හදුනා ගැනීමෙන් පසු ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය.



            අප තවකෙකු පුදුම කරන්නට කරන ලද යම් යම් ක්‍රියාකාරකම් වල අවදානමක් පවතින බව සිතිය යුතුය. එවැනි යමක් කරන්නට පෙර පවතින තත්වය සැලකිල්ලට ගත යුතුය. සිදුවන අත්වැරදීම් කවදාවත් නිවැරදි කල නොහැක. පුදුමයන් පසුපස සැමවිටම අවදානමක් ඇත.



       ඉහත සිද්දිය දෙස බැලීමේදී තේරුම් යන්නේ , හැගීම්බර වූ අවස්ථාවන් , අප බොහෝ විට දුකට පත් කරන්නට හේතුවක් වන බවය. ආදරය සමරන්න හා වැඩි ආදරයක් ලබන්න කැමති වූ ඇයට, වන්දි ගෙවන්න සිදුවුයේ ජීවිතය පිදිමෙනි.

      නොසිතු ලෙස තම පෙම්වතිය , තමන් අතින් මරා දමන්න තරම් ඔහුගේ ඉරණම සකස් වුයේ , ආදරය නොහදුනන අයකු නිසා නොව, අදෘශ්‍යමානව , සියල්ල විනාශ කිරීමට ඔහු පෙළඹු හේතුවක් උදා වූ  නිසාවෙනි . සියතින්  සිය ආදරය විනාශ කර දැමීමට  ඔහුට සිදු විය. .... ඔහු බොහෝ සෙයින් වැලපින. ඒත් සිදු වූ සියල්ල සිදු වී අවසානය. ඇය මිය ගොසින්ය.



        වසර දෙකකට අසන්න කාලයක් දකුණු අප්‍රිකානු උසාවියක. මේ මිනීමැරුම් නඩුව විභාග විය. සාක්කි සියල්ල ගැඹුරින් සලකා බැලින. අවසන , තීන්දු වුයේ මෙය සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඇසින් දුටු සාක්ෂි කිසිත් නැත , ඝාතන සැලැස්මක් තිබු බවට කරුණු අනාවරණය වුයේද නැත. 

      එහෙත් දකුණු අප්‍රිකානු මාද්‍ය මගින් මෙම නඩුව සදහා දැඩි බලපෑම් එල්ල කල  බව විනිසුරුවරයා පවසන ලදී . ඔස්කා ප්‍රසිද්ධ පුද්ගලයකු බැවින්, මේ නඩුව වඩාත් තිවර හා ප්‍රසිද්ධ එකක් බවට පත්විය. ඔහුට දඩුවම් දෙන්නයි මාද්‍ය පුන පුනා පැවසුවද..... නිතිය සියල්ල විසදුවේය. 

     එහෙත් ඔහු සදාකල්හිම එම අත්වැරැද්ද සදහා වේදනා විදි , හදවත ඇයට අත් වූ ඉරණම සාධාරණිය කරන්නේ නැත. ඔහු පාද අහිමි වූ අබාධියෙකි. සිය ජීවිතය විර්යෙන් ජය ගත්තද , ස්වභාව ධර්මය ඔහුට නැවතත් අකාරුණික විය. හෙට දින ඔහුගේ ඉරණම කෙබදු වේද යන්නත්.... මේ ප්‍රබල වූ මාද්‍ය හරහා දැන ගැනීමට , අප පෙළ ගැසී සිටින්නෙමු ......

පසු සටහන

            මෙය ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු තීන්දුවට පෙර දින ගොනු කරනු ලැබූ සටහනක් බව සලකන්න. ඒ වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර නැත. විනිසුරුවරයාගේ පැහැදිලි කිරීම් වලට අනුව, හා මාගේ මතයට අනුව ලියන ලදී.
           අද වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔහු වරදකරු වූ චෝදනා වලට පමණක් දඩුවම් නියම කර ඇත. තව දුරටත් ඔහු නිවැරදිභාවය ලබා ගැනීම සදහා ඇපැලක්  යොමු කර ඇත.