Thursday, May 28, 2015

අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන කාර්යාලයේ ඵක් සමාජ සත්කාරයක්



           ශ්‍රී ලංකාවේ විවිධ සුළු වැරදි සඳහා අධිකරණය ඉදිරියේ චෝදනා ලබන වරදකරුවන් විශෝධනය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රජා පාදක විශෝධන දෙපාර්තුමේන්තුවේ කාර්ය භාරය. දිවයින පුරා පිහිටි සියලු අධිරකණ බල ප්‍රදේශ මුල්කර ගෙන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

             මෙම සුළු වරදකරුවන් විශෝධනය කිරීම සඳහා විවිධ වැඩසහන් ක්‍රියාත්මක වන අතර. එහි එක් වැඩසටහනක් ලෙස මෙම භාවනාමය වැඩසටහන අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන ආඥාලාභින් සඳහා 2015.05.26 දින අගුනුකොලපැලැස්ස. අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

           මහේස්ත්‍රාත්තුමාගේ උපදෙස් පරිදි අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන. අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන නිලධාරි ආර්.එන්.රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලදි.

  වලස්මුල්ල හා තංගල්ල ප්‍රජා විශෝධන නිලධාරි අනුර රෝහණ මහතා, හම්බන්තොට ප්‍රජා විශෝධන නිලධාරිනි ශෂිකලා දුලාෂිනි මෙනවිය. අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරික්ෂක කේ.එස්. සමන්න කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ කාර්ය මණ්ඞලයේ නිලධාරින් පිරිසක් ද සහභාගි විය. 

 
      අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතුළුව. අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ  මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් වැඞසටහන සාර්ථක කර ගත් අතර.  ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක් ද මිට දායකත්වය දක්වන ලදි.

වරදින් මිදුනු යහපත් පුරවැසියෙක් බිහි කිරීම ප්‍රජා විශෝධන දෙපාර්තුමේන්තුවේ දැක්ම වන අතර . මෙම වැඞසටහන ඵ් සදහා ඵක් සමාජ සත්කාරයකි.

 

Sunday, May 10, 2015

ඇය පියවතී ..... නම් වුවාය.


ඕ සුසුම් ලන්නීය. හිස් බැල්මෙන් වරෙක තැවෙන්නීය..... ජිවත් වන්නන් වාලේ , ඇය ජිවත් වනවා යයි..... බැලු බැල්මට වටහා ගත හැක.

දන්න කාලේ ඉදන් ඔයා මනුස්සයා ඔහොම තමයි......... කවුදෝ කියනවා දවසක් මට ඇහුනා ....... 

හිර ගෙදර බස් එකට ඇය නැංගාය.......  තවමත් බලා හිදින්නිය........ කවුරු එනකන්ද....? කවුරු ආවත් නාවත් , ඇයට කම් නැත. ඇය ඇයගේ ලෝකයේ. 

වරෙක ඇය උණවටුනට රැගෙන ආවාය...... වැඩි දුර පරීක්ෂණ සදහා අංගොඩ නතර වෙන්නටද  සිදු වුවාය. අන්තිමට එහිම නේවාසික විය. 
ඇයට උරුම හිර ගෙදර නොව, අංගොඩ රෝහලයි. වරද ඇගේ නොව..... අප නොදන්නා බලවෙගයකින් ඇයව මෙහෙය වීමයි.
  
මාස හයක පමණ ප්‍රතිකාර වලින් පසු ඇය නැවතත් හිර ගෙදරටම ආවාය. 

මේ ඇගේ කතාවයි...... ඇය පියවතී ..... නම් වුවාය. 

පියවතී සිව් දරු  මවකි. වැඩි කතා බහක් නැති පාඩුවේ ජිවත් වන්නියකි. ඇගෙන් කාටවත් කරදරයක් නැත. එහෙත් වටපිටාවේ ඉන්න නෑදෑයින්ට නම් ඇගේ පවුලම කරදරයකි. හේතුව, ඇය ජිවත් වූ ඉඩම් කොටස අයිති කර ගන්නට ඔවුන් මාන බැලු නිසාය. 

ඒ පැත්තේ අය නම් කිව්වේ, පියවතිට මොනවදෝ දීලා කියල. ටිකක් ඔළුව හොද නැති ගතියක්ද කොහෙද තියනවලු. 

මනුස්සයා හැමදාම මුහුදු ගියා, මාළු  විකුණලා කියක් හරි ගෙනවිත් තමයි මේ පවුල රැක්කේ. ළමයින්ගේ කරදඩු උස් උනේ නිකන්මයි. ඉස්කෝලේ ගියත්, එච්චර දස්සකමක් තිබුනෙ නෑ. අන්තිමට ලොකු කොල්ලෝ දෙන්නත් මුහුදු රස්සාවටම ගියා. කෙල්ලෝ දෙන්න ගෙදර හිටිය. 

ගෙදර වැඩපල කරන්, පියවතී කාලය ගෙව්වා. ඇයට වෙන ලෝකයක් නැත. යාළු, මිතුරු ඇසුර  ..... ඒ දේවල් ඇය කවදාවත් අත් විද නැත.සමීප සබදකම්...... හැගීම්..... බැදීම්...... ඒ කිසිත් ඈ නොදත්තාය. 

කල වයස ආවම කසාද බැද , ළමයි හැදුවද....... ඉබේ හැදුනාද කියලවත්...... ඇය දන්නවද දන්නේ නැත. 
ඇගේ පටු ලෝකයේ ......  ජීවිතය ඇතුලාන්තයටම හැරවූ නෙත් ඇතිව ඇය සිටින්නීය.

පියවි ලෝකයට ඔබ්බෙන් ඇගේ ලෝකය තනන්නට ඇති බව , කල් ක්‍රියාවෙන් නම් විද්‍යමාන වේ. 

පියවතී .... දිනක් නිදා හුන් තැනින් නැගිට්ටාය. ඇගේ ලග පැදුරේ ඇලවී උන්...... ඇගේ නැන්දම්මා හා නෑනා දෙස වරක් පමණක් බලා, දනී පනී ගා නැගිට ..... විත් , මන්නා පිහිය අතට ගත්තාය. 

නිදා සිටි අම්මයි, දුවයි...... දෙතුන් පාරට පෙති ගැසුවේ, මාළු කපන්නා සේය. හේතු කිසිවක් නොදත්..... නිදා සිටියවුන් ..... නැවතත් අවසන් නින්දටම පිලිපන්නාහ. 

නැවතත් ඇය හිස් බැළුම් හෙලන්නිය. වට පිටාවේ මිනිස්සු පිරි ඇත. ..... කසු කුසු ගාමින් සිදු වූ විපත්තිය..... ගැන ඔවුන් කතා කරති.

පොලිස් ජීප් රියෙන්  පැමිණි රාළහාමි කෙනෙක් , පියවතිට කතා කළේය. පියවතිගෙන් කිසිවක් නොවිසාම, මන්න පිහියත් සමග ජීප් රියට නංවාගෙන ඔවුහු  පිටත්ව ගියහ.

සිද්දිය පිළිබද පොලිසිය දිගින් දිගටම ඇගෙන් ප්‍රශ්න කරන ලදී. ඇය මොනවා කියන්නද...... කියන්න කිසිත් නොදත්තාය. 

කාන්තාවන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට ඇය හිර ගෙදර ගියාය. 
ඇයට ගෙදරත්..... හිර ගෙදරත් අතර වෙනසක් දැනෙන්නේ නැත. ඇය..... තවමත්..... බලා හිදින්නිය. 

ඒ කවුරුවත් ඇයව බලන්න එනකන් නම් නොවේ...... කිසිවකු ..... ඇය බලන්න ආවේද නැත. ගෙදර අයට ඇයව පෙනුනේ මිනීමරු ගෑණියක ලෙසෙනි. 
ඔහොම ... සති දෙකින් දෙකට හිර ගෙදරත්.... උසාවියත් අතර ඇය සංචාරය කලාය. ඇය වෙනුවෙන් කිසිවෙකුත් නැත. 

පියවතී හා සිද්දිය සම්බන්ධ ..... වටපිටාව දැන සිටි එක් පොලිස් නිලධාරියකු .... උසාවියෙන් ඉල්ලීමක් කළේය. 

ඒ ..... ඇය පිළිබද මානසික වෛද්‍ය වාර්තාවක් කැදවන  ලෙසයි. 

උසාවියෙන් අවසර ලැබිණ. මුලින් උණවටුන වෙතත්, වැඩි දුර ප්‍රතිකාර සදහා අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනය වෙතත් ඇයව බන්ධනාගාරය මගින් යොමු කරන ලදී. 

සැබවින්ම, ඇය මානසික  රෝගයකින් පෙළුණු තැනැත්තියක් බව තහවුරු වන්නට විය. ඇයට වැලදී ඇත්තේ, පරම්පරාවෙන් එන නිලින ලක්ෂණ ඇති මානසික රෝගයකි. 

එහෙත්.... ඇයට රෝගයක් ඇති බව ගෙදර කිසි කෙනෙකු නොදත්හ. එවැනි යමක් තේරුම් ගත හැකි වටපිටාවක් ඇයගේ සමාජයේ සිටිය උන්ට නොතිබිණි. 

පසුව ..... පොලිසිය මගින්, ගෙදර අයව ගෙන්නා ඇගේ , ඉතිහාසය ..... පිළිබද අධ්‍යනය  කර සම්පුර්ණ වාර්තාවක් වෛද්‍යවරයා මගින් උසාවිය වෙත ලබා දෙන ලදී .  

පියවතිට ..... ප්‍රතිකාර වලින් පසුව පියවි සිහිය ලැබුණි. තමන් අතින් සිදු වූ සිද්දිය ගැන දැනෙන්න පටන් ගෙන තිබුණි. සිය නැන්දම්මා හා නෑනා මැරුවේ තමන් බව මතක් වන්නට විය. එහෙත්...... ඒ වන විට සියල්ල සිදු වී හමාරය. 
සියල්ල තේරුම් බේරුම් ගියාට පසුව දරුවෝ ඇයව බලන්නට හිර ගෙදරට පැමිණියහ.  

දිනෙක, ඇය පිච්චෙනවා යයි කෑ ගසමින් , හිර ගෙදර තුල  කළහ කරන්නට පටන් ගත්තාය. පියවි සිහිය පැමිණියද ...... ඇය නැවතත් රෝගී වන්නට විය. 

පියවි සිහිය නොලැබුණා නම් හොද යයි, ඇයට දැන් නම් සිතෙන්නට ඇත. ඇය සත්‍යට බිය විය. 

 නඩුවෙන් ඇයට සහනයක් ලැබුණි. සිතා මතා නොකළ මිනි මැරුමක් බව තහවුරු වන්නට විය. ඇයට ඇප ලැබුණි. දරුවෝ  ඇයව ගෙදර ගෙන යන්නට බිය වුහ. ලෝකයා මොනවා නොකියාද යන මිත්‍යාවට නතු වෙමින්, ඇයට  සිය මහ ගෙදර වෙත යන්නට සිදු විය......

මින් එක දෙයක් අප තේරුම් ගත යුතුයි .... මොකද්ද ඒ...... 

අප අතර සිටින අමුතු හැසිරීම් ඇති අයවලුන් පිළිබද සැළකිලිමත් වීම, අනතුරු අඩු කර ගැනීමට හේතු වන බවයි. 


එක් සත්‍ය සිදුවීමක් ඇසුරිනි


Sunday, May 3, 2015

කදුළු විතරද මන්දා.....



මං අද ..... කොටු පවුරෙන් වටවුනු  හුදෙකලා කුටියක, දුක් විදින්නේ සුසුම්ලන්නේ ..... කාගේ වරදින්ද කියල  හිතා ගන්න බැ. 
මං වැරදිද.......? ඇත්තටම මං වැරදිද ......? ලෝකෙම මගේ දිහාට ඇගිල්ල දික් කරලා කිව්වේ මොනවද .........
උඹ....... හොර මිනිහ එක්ක එකතු වෙලා මිනිහ මරා ගත්ත ගෑනි කියල නේද..... 
ඔව්....... මං මිනිහ මරා ගත්ත ගෑනි තමයි........ මං හිරේ ගියේ ඒකට..... මේ ලෝකේ විදින්න ඕන අවනම්ඹු  වින්දා ....... කුණු කතා හැම එකක්ම මං ඇහුව....... තව මොනවද....... මට අහන්න ඉතිරි වෙලා තියෙන්නේ. 
ලැජ්ජාව....... බය කියන එක ...... මට දැන් දැනෙන්නේ නෑ.
පාතාල ලෝකේ ...... run කරන කුඩු ගෑනුන්ගෙයි , මගෙයි අතර මොකද්ද දැන් තියන වෙනස...... මං  නිදා ගන්නෙත් උන්ගේ  කබල් පැදුරෙ කොනක. කන්නේ ...... උන්ට දෙන බත් පතමයි. උනුයි...... මායි සමාන  වෙන්නේ ඔන්න ඔතනදි. අපි ඔක්කොම වැරදි කරපු ගෑනු  ....... 

මට දුක මගේ දුව ගැන ...... කෙල්ල කොන්වට් ඒකට වෙලා දැන් මොනවා කරනවා ඇත්ද......?
මමී...... පපාව මැරුවේ ඇයි කියල ..... කෙල්ල මගෙන් ඇහුවේ නෑ. සහන්ගේ අම්ම මට ඔක්කොම ඉස්සරහ කිව්වේ මිනීමරු ගෑනි කියල.....  දුව බයවෙලා බලන් හිටියට , ආච්චි ලගට ගියේ නෑ. 
මමී...... මමී..... කිය කියා ...... මට තුරුල් වුණා. දුට මේව නොතේරෙනවා කියල හිතන්නත් බැ. සහන්  මට ගහද්දි..... දු පැටියා විතරයි...... මං අඩන හැටි දැක්කේ......
පපා .....  මමිට ගහන්න එපා කියල කෑ ගැහුවත්...... සහන් නෙමෙයි කෙල්ල දිහා ඇහැක් ඇරල බැලුවේ. තිරිසනෙක් වගෙයි වෙලාවකට හැසිරුනේ. 
දුට හිටියේ මං විතරයි. ඒකයි මට දුක....

මට මගේ කෙල්ල දකින්න වෙන්නෙත් , මාසෙකට සැරයයි. 

ඒ මුසල දවසේ කෙල්ල මගෙන් ඈත් කරේ, නීතියට යටත්වයි. සහන්ගේ මරණය පිළිබද තිබුන එකම සාක්ෂිය , මගේ දුව. මට දු ගෙන් ඈත් වෙන්න සිද්ධ උනත්, මාසයකට සැරයක් වත් දකින්න , මට උසාවි නියෝගයක්  ගන්න උනා.  සිස්ටර් මාසෙකට සැරයක් කෙල්ලව මං ගාවට එක්ක එනවා. 

සති දෙකෙන් දෙකට මං උසාවි ගියා. හිර ගෙදර බස් එකේ , තල්ලු වේවි, දාඩිය මුගුරු දාගෙන , නම කතා කරනකන් උසාවි කුඩුවට වෙලා හිටිය. අනිත් කුඩුවෙන් රගුනාදන් විත්ති කුඩුවට ගොඩ වෙද්දී,  මාත් ඒ පස්සෙන් හිට ගත්ත. කුඩුවට නගිනවා, බහිනවා........., මාස ගානක් යනකන් ඔය විදියට අපට ඇපවත් ලැබුනේ නෑ. 
රගුනාදන් මං දිහා දැන් බලන්නේ පුදුමාකාර තරහකින්. නාදුනන දෙදෙනෙක් වගෙයි, අපි උසාවියේදී හම්බ උනේ. 
මට ආරංචි උනා, රගුනාදන් පොලිසියට කියල තියෙන්නේ මං සහන්ව රගුනාදන් ලව්ව  මැරෙව්ව කියල. දෙවියන් වහන්සේ විතරයි දන්නේ  මං නිර්දෝෂයි කියල 
මගේ පව් ..... මටමයි ගෙවන්න වෙන්නේ. මට ඉන්නේ අම්මයි, තාත්තයි විතරයි. ඒ ගොල්ලන් අකමැත්තෙන් මං සහන්ව බැන්දේ . ඒ පව තමයි මම  අද ගෙවන්නේ. ඒ ගොල්ලන් උසාවි එන්නෙත් නෑ. මාව බලන්න හිර ගෙදරට එන්නෙත් නෑ............  ලැජ්ජාවට 

මට මතකයි සහන්ව මුලින් හමු වෙච්ච හැටි....... 

good morning sir......
good morning , take a sit.......

'අරලියා' ගාමන්ට් එකේ සෙකට්‍රි පෝස්ට් එකට මං ඔහොමයි ආවේ. සහන් තමයි මගේ බොස් . 'අරලියා' ගාමන්ට් එකේ අයිතිකාරයා, මගේ සැමියා වෙයි කියල , එදා මට නිකමටවත් හිතුනේ නෑ. 
නොගැලපෙන විවාහයකට සියළු බාධක මැද මං එකග වුනේ, හරියට රටක් රාජ්‍යක් ලැබුන රැජිනක් වගේ. 

මොකද්ද ..... මගෙයි, සහන්ගෙයි නොගැලපීම ....... සහන් මට වඩා අවුරුදු විසිදෙකක් වයස වැඩි කෙනෙක්. අපේ වයස් පරතරය නොගැලපීම් ගොඩකට මග පෙන්වන්නක් බව , එදා මට තේරුනේ නෑ.  

මගේ ලස්සනට....., ලාබාල කමට තමයි .... සහන්ගේ හිත ගියේ. ඒත් ඒ දේවල් තාවකාලිකයි කියල , එදා අපි දෙන්නටම හිතුනේ නෑ. 

බැදලා අවුරුදු එකහමාරක් විතර යනකොට මගේ දු පැටියා අපි අතරට ආව. මගේ ලෝකයම උනේ මේ කෙල්ල. 

සහන් මට ඕන තරම් සල්ලි දුන්නා. මට කිසි කරදරයක් ගෙදර තිබුනේ නෑ. ඒත්...... මං ආසයි ලස්සනට ඉන්න. කෙල්ල ලැබිල හිටියත්, මං තවත් ලස්සනට පේන්න පටන් ගත්ත. මගේ මේ පිළිවෙල සහන්ට  රුස්සන්නේ නැතිව ගියා. එයාට මාව සැකයි. හැමදාම දවස පටන් ගත්තේ ප්‍රශ්නයකින්, බහින් බස් වෙලා. 

ඉවසල බැරිම තැන, සහන් මට බනින කොට , මාත් එකට එක කියන්න පටන් ගත්ත. මට සහන්, එන්න එන්නම එපා උනා. එයාටත් , මාව පෙනුනේ වහ කදුරු වගේ. සහන් මට එක එක මිනිස්සු පාවල බනින්න පටන් ගත්ත. 
අම්මලගේ හිත රිදවපු පාපයට වෙන්න ඇති. මට මෙහෙම උනේ. කවුරුත් මේ ප්‍රශ්න වලට මැදිහත් උනේ නැත්තෙත් ඒකයි  . මගේ ලග හිටියේ දුව  විතරයි. මං වෙලාවකට දුව තුරුළු කරන් ඇඩුව. 

මමී....... අඩන්න  එපා මමී....... තාත්තා ,,,,,, නෝටි...... 


මම තාත්තා ගැන දුට කොහොම තේරුම් කරන්නද.....? අපිට පවුලක් විදියට කවදාවත් එකතු වෙලා ඉන්න බෑ ...... මගේ දුව. 

ඔය විදියට මං මගේ කසාදය තුල හුදෙකලා වුනේ නිකන්මයි. කතා බහ කරන්න කෙනෙක් නැහැ. එලියට බහින්න විදියක් නෑ. ඔක්කොම මට තහනම්.
ඔය අතරේ අල්ලපු ගෙදර පදිංචියට , කුලියට ගේ අරන්, රට ඉදල ආපු කෙනෙක් ආව. එයා තමයි රගුනාදන් ..... තලෙළු පැහැයෙන් යුත් ඔහු කඩවසම් තරුණයෙක්. ද්‍රවිඩ ජාතිකයෙක්.
දවසක් , මිදුලේ ඉන්දෙද්දී මාත් එක්ක හිනා උනා. කල්ප කාලෙකින් දැක්ක මනුස්සය වගේ මාත් හිනා උනා. ඔහොම ලාවට පටන් ගත්ත ඇයි හොදැයිය ...... සහන් ගෙදර නැති වෙලාවට අපේ ගෙදර එන්න තරම් දුර ගියා. කොහොමත්, සහන් ගෙදර එන්නේ හැමදාම රෑ වෙලා. 

කාලයත් එක්ක, මං රගුනාදන්ට ගොඩක් ලං වුණා. දුත්  , රගු අන්කල් කියල .... රගුනාදන් එක්ක ඉක්මනටම යාළු උනා.

මං හැමදාම බලන් හිටියේ රගුනාදන්ගේ ආශ්‍රයේ කාලය ගෙවන්න. 

රගු කිව්වා,


 අපි බදිමු...... නැත්නම් පැනල යමු......කියල. 
මං කිව්වා ....... දු , දාල මං කොහොමද යන්නේ . ......

රගු දවසක්, කියපු කතාවට  මගේ ඇස් දෙක උඩ  ඉන්දුන ,  ඒක අහල. 

අපි සහන්ව මරමු..... ඔයාට එයාගෙන් කරදරයිනේ. අනික, සහන්ගෙන් දික්කසාද වෙන්නේ නැතිව මට ඔයාව බදින්නත් බැනේ. .....

සහන්ට මං ද්‍රෝහී උනාට ,  එයාව මරන්න තරම් හිතක් මට තිබුනේ නෑ. 

රගු කියපු ඒ කතාව මං එච්චර ගණන් ගත්තේ නෑ. මං හිතුවේ, මං ගැන අනුකම්පාවෙන් රගු ආදරේට කියපු කතාවක් කියල. 

එදා හොදටම කරුවල දවසක්....... වැස්සත් ටිකක් තදේට තිබුන. දොරවල්, ජනෙල්  එකට එක වදින්න ගත්තා. මං දුවත් තුරුළු කරන්, නිදා ගෙනයි හිටියේ. සහන් ආවද  කියලවත් මං දන්නේ නෑ. වෙනදාටත් මං හොයන්නේ නෑ. අපි නිදා ගන්නෙත් කාමර දෙකක. 

එක පාරටම පල්ලෙහා මර ලතෝනි දෙන සද්දයක් ඇහුනා. මොකක් උනත්, ඒ විලාපෙට මං පල්ලෙහාට දිව්වේ එක පිම්මට, 

සිද්ද වෙච්ච දේ මටම අදහ ගන්න බැරි උනා. පිහියක් අතින් අරන් රගු ඉන්නවා , සාලේ මැද්දේ. මං රගු ලගට දිව්වා...... මොකද උනේ බලන්න. 
සහන්....... සහන්........ ලේ පෙරාගෙන කාපට් එක උඩ වැටිලා හිටියා. ඔහු හිටියේ උඩ බැලි අතට , එහෙම ඉදන් මං දිහා බැලුව. මං පහත්  වෙලා සහන් කියල කතා කරා....... අනේ එයා එක පාරටම ඇස් පියා ගත්තා. දුවත්, මගේ සද්දෙට පහලට දුවල ආව. දුව එනකොට රගු පිහියත් අරන් යන්න ගිහින්. 
පපා...... මොකද උනේ ..... මමී කියන්න මොකද උනේ කියල....... ඇයි පපා...... ලේත් එක්ක ඉන්නේ .......
අනේ පැටියෝ..... මං එනකොට පපා , වැටිලා හිටියේ. 
මට කියන්න පුළුවන් එච්චරයි....... මං කොහොමද කියන්නේ දුට , රගු අන්කල් පපාව මැරුව කියල.  
මං දන්නවා. රගු සහන් මැරුව කියල. දුට විතරක් නෙමෙයි, ඒ වෙලාවේ මං මුළු ලෝකෙන්ම හැංගුව, රගු ..... සහන්ට පිහියෙන් ඇන්න කියල.

අපේ සද්දෙට වටපිටාවේ ගෙවල් වල ඉන්න අයත් ආව. මං දු බදාගෙන ඇඩුව. සහන් මැරිලලු. 

පොලිසියෙනුත් ආව. සහන්ව සුදු රෙද්දකින් වහල අරන් ගියා. පොලිසිය මගෙන් ප්‍රශ්න කරා. සිද්දිය ගැන. මං රගු ගැන කිව්වේ නෑ. මං පහලට එනකොට සහන් වැටිලා ඉන්නවා දැක්ක කියල විතරයි මං කිව්වේ. 
සහන්ගේ මරණය ගැන ගැන දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරා. පොලිසියට මාව සැකයි. මොකද වටපිටාවේ මිනිස්සු පොලිසියට කියල අපි නිතරම රණ්ඩු  වෙන බව. 

මං හිතුවේ නෑ. රගු ගෙයි  මගෙයි සම්බන්ධෙ අනිත් අය දන්නවා ඇති කියල. ඒත්....... අනිත් අයට ඒ ගැන ඉව වැටිලා . පොලිසිය ඒ ගැනත් මගෙන් ඇහුවා. 
එදා උදේ වෙද්දී , පොලිස් බල්ලෝ ගෙනාව, මරණයේ තව සාක්ෂි හොයා ගන්න. එකෙක් ගිහින් නතර වෙලා තියෙන්නේ , රගු ගේ ගෙදර, රගු ගෙදර ඉදල නෑ. ගේ වහලා. පොලිසියට තවත් මං ගැන සැකයි.

සහන්ගේ මිනිය පෙට්ටියක දාල ගෙදර ගෙනාව. මං සහන් ලගට වෙලා පුටුවක් තියන් දුත් එක්ක වාඩි වෙලා හිටිය. සැරින් සැරේට ඇඩුව. එයාගේ නෑදැයෝ, යාළුවො හැමෝම සහන්ව බලන්න ආව. සහන්ගේ අම්ම, ඊයේ ඉදන්ම අපේ ගෙදර . 
පොලිසිය රගුව හොයාගෙන පොලිසියට අරන් ගිහින් කියල කවුදෝ කියනවා මට ඇහුනා. මං ගැස්සුනා ඒ ආරංචියත් එක්ක. 

මගේ පුතා මරා ගත්ත මිනීමරු ගෑණි...... උඹත් මැරියන්...... පලයන් පුතා ගිය තැනටම. කියා කියා ...... එක පාරටම සහන්ගේ අම්ම කෑ ගහන්න පටන් ගත්ත. මල ගෙදරට ආව හැමෝම පෙට්ටිය ලග පිරෙන්න ගත්ත. මං තවත් හයියෙන් කෑ ගහල ඇඩුව. 

හවස් වෙද්දී පොලිසියෙන් ආයෙත් ආව,.........මං දන්නවා  මාව එක්කන් යන්න තමයි එන්නේ කියල ...... හැමෝගෙම ඇස් බැළුම් මැද , මං ගිහින් ජීප් එකෙන් වාඩි උනා. දු පැටිය කෑ ගහල ඇඩුව. මමී..... යන්න එපා කියල .දු අඩද්දී, මං මගේ ඉරණම් ගමන ගියා. 


රගු ..... පොලිස් කුඩුවේ ඉදන් , මං දිහා රවාගෙන ඉන්නවා මං දැක්ක. එයා හිතන් ඉදල තියෙන්නේ මං තමයි, රගුව අල්ලලා දුන්නේ කියල, ඒකයි, මට විරුද්ධව සාක්ෂි දීල මාවත් පොලිසියට ගෙන්න ගත්තේ. මං කවදාවත්, මේ අපරාධයට අනුබල දුන්නේ නෑ. දෙවියන් වහන්සෙයි..... මමයි විතරයි ඇත්ත දන්නේ. 

රගුගෙයි, මගෙයි අනියම් සම්බන්ධය දිගටම ගෙනියන්න ඕන නිසා, මං රගු ලවා සහන්ව මැරූ බව තමයි මුළු ලෝකයටම ඇත්ත වුනේ. 

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, ඊට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යටතේ , මට නඩු පැවරුණා. 

ඉතින්, මං නොකළ වරදකට හිරේට එන්න සිදු වුනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා වෙන්න ඇති. මං වරදක් කලා.

 ඒ ...... සහන්ට ද්‍රෝහී වීම, ඒකට ලැබුන දඩුවම තමයි මේ.

මං අම්මලගේ හිත් රිද්දුව, නොගැලපෙන කසාදයක් කරගෙන. 
ඇයි මං වැරදි කලේ. දෙවියන් වහන්සේ ඉදිරියේ ...... මං හැම දෙයක්ම පාපොච්ච්ච්රණය කරනවා. 

අම්මයි, තාත්තයි වයසයි...... ඒ දෙන්නම ලෙඩ ගානේ හිටියේ. මං පවුලේ එකම ළමයා. අපිට ගොඩක් සල්ලි තිබුනේ නැ. අපි අමාරුවෙන් ජිවත් වුනේ. ඒකයි මං රස්සාවකට ගියේ. සහන්ට සල්ලි තිබුන නිසා මං සහන්ව බැන්දා. මට හැම සම්පතක්ම ලැබුන. 

ඒත්....... මට ඕන ආදරේ සහන්ගෙන් ලැබුනේ නැ. ...... එයා මාව තේරුම් ගත්තේ නෑ...... දුටයි. මටයි..... හොදින් සැලකුවේ නෑ. 

මං රගු එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්න හේතු උනේ ඒක. මං නරක ගෑනියෙක් නෙමෙයි...... මට ඕන වුනේ ආදරය........ රගු මට ආදරය දුන්නා. 

මං දන්නවා දැන්......ඒකත්....... බොරු ආදරයක්  බව. එයා සහන්ව මැරුවේ, ඇයි කියල මට දැන් තේරෙනවා. සහන්ව මැරුවම මාව බදින්න ලේසියි. ඊට පස්සේ, සහන්ගේ බුදලේ ගන්න ලේසියි. ඒකයි, රගුගේ plan එක. 


මං දන්නේ නැති උනාට අනිත් ඔක්කොම දැනන් ඉදල තියනවා, රගුගෙයි, මගෙයි සම්බන්ධෙ. අපි කරන සමහර දේවල් අපිටම පේන්නේ නෑ. ඒත්.... ලෝකය අන්ධ නෑ. 

එක ප්‍රශ්නෙකට උත්තර හොයන්න , මං තෝරාගෙන තියෙන්නේ, කවදාවත් උත්තර නැති ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර හොයන්න බෑ කියල මං දැන් දන්නවා. 

ආදරය, රාගය තාවකාලිකයි. ඒ හැම දේකින්ම සිද්ධ වුනේ මගේ ජීවිතය විනාශ උන එක විතරයි. මං විතරක් නෙමේ මගේ දුගේත්, අපි දෙන්නටම ලෝකෙට මුණ දෙන්න බැරිව ගියා. 

කෙල්ල කොන්වට් එකේ ඉන්න එක මට සැනසීමයි. උසාවියෙන් කැමති උනා. භාරකාරත්වය තාවකාලිකව කොන්වට් එකේ සිස්ටට දෙන්න. 
මට ඇප ඉල්ලන්නවත් කෙනෙක් නැති උනා, මට උදව් කරන්න කැමති උනා. මෙහේ ඉදල එලියට බැස්ස කෙනෙක්, ඇප ගන්න ලෝයර්ස්ලට කතා කරන්න. ඒත් සල්ලි වලට, කමක් නෑ ........ කොහොම හරි මට එලියට යන්න ඕන. මගේ කෙල්ල හින්දා. ඒකිටවත් ජීවිතය දෙන්න ඕන.

නඩුවෙන් මට මොන වගේ තීන්දුවක් ලැබෙයිද කියන්න බෑ, රගු දැන් බොරු සාක්ෂි දෙන්න plan කරලා තියෙන්නේ. මට වටින් ගොඩින් ආරංචියි. කමක් නෑ. එන විදියකට ජීවිතේට මං මුහුණ දෙනව. මට දැන් හැමදේම පුරුදුයි. තව වෙන්න දෙයක් නෑ. 

ජීවිතය කුමක්ද කියා හරි හැටි නොදැන ජීවිතය වරද්දා ගත්..... සියළු දෙනාට මේ කතාව, ආදර්ශයක් වෙන්න කියලයි මං මේ කතාව ලිව්වේ, ඒත්.... නම් ගම මනංකල්පිතයි.සත්‍යට ඉතා ලගයි.